ශ්‍රීලනිප නිර්මාතෘ බණ්ඩාරනායක මහතාගේ දරුවන් පක්ෂය අතහැර ගිය ද එය විනාශ කළ නොහැකි වූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
“කොච්චර බාධක ආවත් වධ බන්ධන ආවත් අපි කිසි දවසක පස්සට යන්නෙ නෑ ඉස්සරහට යනව මිසක්. අපි සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ. ආණ්ඩුවේ ඇමැතිකම් දරන පිරිසක් අපේ ගමනට බාධා කරනවා.
ඔවුන්ට ඕනෑ වුණා සන්ධානෙත් එක්කම ආණ්ඩුවට එකතු වෙන්න. මේක තමයි පසුගිය මාස තුන හතරෙම අපේ සාකච්ඡා අසාර්ථක වෙන්න හේතුව වුණේ. ගමේ වචනෙන් කියනවා නම් අපිව කඩේ යැව්වා. ඒ නිසා අපි පසුගිය දිනවල ආණ්ඩුවේ තනතුරු දරන තුන්දෙනකු පක්ෂයේ තනතුරුවලින් ඉවත් කළා. ඒක ඉතාම නීත්‍යානුකූලව කළ වැඩක්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතීතයේ සිටම විවිධ අභියෝගවලට මුහුණ දුන් පක්ෂයක්. ඒත් ඒක වට්ටන්න බැරි වුණා. බණ්ඩාරනායක මහතා මේ පක්‍ෂය ගොඩනැගුවා. සිරිමාවෝ මැතිනිය එය ශක්තිමත් කළා. එතුමන්ලගේ දරුවොත් මේ පක්ෂය අතහැර ගිහින් තියෙනවා. මමත් මේ පක්ෂය වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරල තියෙනවා.
ඒ නිසා අපිව වට්ටන්න ඔය අතලොස්සක් කුමන්ත්‍රණය කළාට හරියන්නේ නෑ. අපි ඉදිරියටම යනවා. මම සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා අපත් සමග එක්වන ලෙස.”
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම අදහස් පළ කළේ සෙනසුරාදා (06දා) සවස කඩුවෙල ක්වීන්ස්බරි හෝටල් ශ්‍රවණාගාරයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් සමුළුව අමතමිනි.