ශ්‍රේෂ්ඨාධීකරණය අපට එරෙහිව නැඟූ සියලු චෝදනා හරි…! – හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්…

February 13, 2024 at 7:04 pm | by emanisa.lk

ආර්ථික අර්බුදය පිළිබඳ ශ්‍රේෂ්ඨාධීකරණය ලබා දුන් තීන්දුවෙහි බංකොලොත්භාවය යන වචනය පවා භාවිත කර නැතැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ආර්ථික අවපාතයට පුද්ගලයින් 8 දෙනෙක් නිරූපිත ලෙස දායකත්වය ලබා දී ඇති බව එම බහුතර තීන්දුවෙහි සඳහන් බවයි.

එම තීන්දුවෙහි සඳහන් චෝදනා වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (IMF) යෑම ප්‍රමාද කිරීම, රුපියල ස්ථාවරව තබා ගැනීම සහ බදු අඩු කිරීම බවත් එම චෝදනා සියල්ල සත්‍ය බවත් අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කරයි.

කෙසේ වුව ද තමන් IMF යෑම ප්‍රතික්ෂේප කළේ රුපියල ස්ථාවරව තබා ගත්තේ ඇයි දැයි ජනතාවට අවබෝධ වී ඇති බවත් බදු අඩු කිරීමට එරෙහිව උසාවි ගිය අයම බදු වැඩි කළ විට බෝඩ් උස්සා ගෙන මහ පාරේ විරෝධතා කරන අයුරු තමන් දුටු බවත් හිටපු මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කරයි.

IMF යෑමට තමන් එරෙහි වන විට සමහරු IMF යෑම වීර ක්‍රියාවක් ලෙස හුවා දක්වමින් තමන්ට බැණ වැදුණ ද දැන් බදු පිට බදු ගසමින් ජනතාවට මහත් පීඩා විඳීමට සිදුව ඇත්තේ IMF කොන්දේසි අනුව කටයුතු කිරීමට සිදුවීම නිසා බව ද හෙතෙම කීය.

2022 මාර්තු වන විට පෙට්‍රල් ලීටරයක් රු. 175කට ද ඩීසල් රු. 121කට ද භූමිතෙල් රු. 85කට මිලට ගැනීමට හැකි වුව ද පෝලිම්වල සිටිය නොහැකි බව ප්‍රකාශ කරමින් සිදුකළ අරගලය නිසා මේ වන විට ඉන්ධන පරිභෝජනය 50%කින් පමණ අඩු වී ඇති බව ද පෝලිම් නැත්තේ ජනතාවට ඉන්ධන පරිභෝජනය කළ නොහැකි නිසා බව ද අජිත් නිවාඩ් කබ්රාල් වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *