කුරුණෑගල ප්‍රදේශයේ විහාරස්ථානයකට දායකයකු විසින් පරිත්‍යාග කළ වටිනා රෙදි සෝදන යන්ත්‍රයක් විකුණා එම විහාරයේ විහාරාධිකාරී හිමිනම අයිස් මත්ද්‍රව්‍ය පානය කර ඇති බව අනාවරණය වී තිබේ.
යුක්තිය මෙහෙයුම යටතේ මීට සති දෙකකට පමණ ඉහතදී කුරුණෑගල වැවගෙදර ප්‍රදේශයේ සිටි සැකකාර හිමිනම අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මේ වන විට රිමාන්ඩ් භාරයට පත් කර සිටී.
හිමිනම අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව විහාරස්ථානයට ගිය ප්‍රදේශයේ දායකයන් පිරිසකට මෙම තොරතුරු අනාවරණය වී ඇත.
විදෙස් රටක වෙසෙන විහාරස්ථානයේ දායකයකු එම හිමිනමගේ ඉල්ලීමකට අනුව රුපියල් ලක්ෂ එක හමාරක් පමණ වටිනා නවීනතම ස්වයංක්‍රීය රෙදි සෝදන යන්ත්‍රයක් විහාරස්ථානයට පරිත්‍යාග කර තිබී ඇත. විහාරාධිකාරී හිමිනම එම යන්ත්‍රය සිවුරකින් වසා තිබෙන ආකාරය දායකයන් නිතරම දැක ඇත.
පසුගිය දිනක විහාරස්ථානයට ගිය දායකයන් පිරිසක් රෙදි සෝදන යන්ත්‍රය වසා තිබූ සිවුර ඉවත් කර බැලීමේදී එහි රෙදි සෝදන යන්ත්‍රයක් නොමැති බවත් ප්ලාස්ටික් පුටු දෙකක් තබා එය වැසෙන ආකාරයට සිවුරක් දමා තිබූ බවත් දැක තිබේ.
පසුව කළ සොයා බැලීමකදී අනාවරණය වී ඇත්තේ මත් කුඩු පානයට තදින්ම ඇබ්බැහිව සිට විහාරාධිකාරී හිමිනම මත්කුඩු ලබා ගැනීමට මුදල් සොයා ගැනීමේ අරමුණින් ඉතා අඩු මුදලකට රෙදි සෝදන යන්ත්‍රය හොර රහසේම විකුණා දමා ඇති බවය.
එය විහාරස්ථානයට එන දායකයන්ගෙන් සැඟවීම සඳහා පුටු දෙකක් මතට සිවුරක් දමා රෙදි සෝදන යන්ත්‍රය මෙන් පෙනෙන්නට සැලැස්වීමට හිමිනම ක්‍රියා කර ඇත. මෙම හිමිනම එම රෙදි සෝදන යන්ත්‍රය පමණක් නොව, විහාරස්ථානයේ තිබූ තවත් භාණ්ඩ රැසක්ද මත්කුඩු ලබා ගැනීම සඳහා හොර රහසේ විකුණා ඇති බව අනාවරණය වී තිබේ.
පුෂ්පකුමාර ජයරත්න – කුරුණෑගල