තෙල් නැවක් එනතුරු බලා සිටි රට දැන් ජාත්‍යන්තර මුහුදේ ආරක්ෂාවට නැව් යවනවා..! – ජනපති…

January 9, 2024 at 10:00 am | by emanisa.lk

තෙල් නැවක් එනතුරු බලාසිටි රට දැන් නෞකාවලට ආරක්ෂාව ලබාදීමේ තත්ත්වයට පත්ව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ රතු මුහුද හරහා මෙරටට පැමිණෙන භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට ආරක්ෂාව නොදුන්නොත් කොළඹ ඇතුළු මෙරට වරායන් දැඩි තර්ජනයකට ලක්වෙන බවයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් ඊයේ (08 දා) පෙරවරුවේ හමුවූ අවස්ථාවේදීය.

රතු මුහුදේ ආරක්ෂාවට නෞකා යෙදවීමට වැයවන මුදල දෙස බලා එම කටයුත්තෙන් ඉවත් වුවහොත් නැව් නොපැමිණීමෙන් දැවැන්ත පාඩුවක් රටට දැරීමට සිදුවන බව ද ජනාධිපතිවරයා විසින් පෙන්වා දී තිබේ.

රතු මුහුදට ලංකාවේ යුද නැව් යවන්නේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට ආරක්ෂාව සැපයීමට මිසක් රාජ්‍යයන් අතර ඇතිව තිබෙන යුද්ධයකට සහාය දීමට නොවන බව ද ජනාධිපතිවරයා එහිදී පෙන්වාදී ඇත.

හුතී සටන්කාමීන් නිසා භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට රතු මුහුද මගහැර අප්‍රිකාව වටා ගොස් ආසියාව දෙසට පැමිණීමට සිදුවුවහොත් මෙරටට ආනයනය කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑමට ඉඩ ඇති බවද පවසා තිබේ.

මීට අවුරුදු එකහමාරකට පෙර ඉන්ධන නෞකාවක් එනතුරු මගබලා සිටි රටක් වූ ශ්‍රී ලංකාව දැන් ජාත්‍යන්තර මුහුදේ ආරක්ෂාවට නෞකා යවන තත්ත්වයට පත්ව තිබෙන බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *