පාසල් ගුරුවරුන්ට තම සිසුන්ට මුදලට ටියුෂන් දීම තහනම්..!

January 4, 2024 at 2:51 pm | by emanisa.lk

පාසල් ගුරුවරුන්ට තම පන්තියේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් මුදල් අය කරමින් පෞද්ගලික උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

වයඹ පළාත් ගුරුවරුන්ට අදාළ වන මෙම චක්‍රලේඛය 2024.01.01 දින සිට ක්‍රියාත්මක කරන බව වයඹ ප්‍රධාන අමාත්‍යාංශ සහ වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නයනා කාරියවසම් මහත්මියගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක සඳහන්වේ.

එම චක්‍රලේඛය වයඹ පළාත් පාසල්වල සියලුම විදුහල්පතිවරුන් වෙත මේ වන විට නිකුත් කර ඇති බව ද එම චක්‍රලේඛය කඩකරමින් කටයුතු කරන ගුරුවරුන් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව නොපමාව පියවර ගැනීමට සිදුවන බවද එම නිවේදනයෙහි සඳහන් කර ඇත.

ඇතැම් ගුරුවරුන් පාසලේ ඉගැන්වීම් නිසි පරිදි සිදු නොකර තමන් පවත්වනු ලබන පෞද්ගලික උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ සඳහා සහභාගි නොවන තමන් ඉගැන්වීම් කටයුතු කරන පන්තිවල සිටින සිසුන්ව නොසලකා හරිමින් විවිධ මානසික පීඩාවන්ට ලක් කරන බවට දෙමාපියන්ගෙන් ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගෙන වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ උපදෙස් අනුව මෙවැනි තීරණයක් ගැනීමට සිදුවූ බව නයනා කාරියවසම් තම නිවේදනය මඟින් වැඩි දුරටත් පවසයි.

එම අවාසනාවන්ත තත්ත්වය මඟ හැර දරුවන්ට වඩාත් තෘප්තිමත් පන්ති කාමරයක් නිර්මාණය කිරීමටත් එමඟින් පරිපූර්ණ පෞරුෂත්වයකින් යුත් සිසු දරුවන් රටේ අනාගතයට බිහි කිරීමටත් මෙමගින් උත්සාහ කරන බව ද එම නිවේදනයෙහි සඳහන් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *