වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් චෝදනා කර ඇති හිටපු මහ බැංකු අධිපතිවරුන් ඇතුළු මුදල් මණ්ඩල සාමාජිකයන්ගේ විශ්‍රාම වැටුප් සහ අනෙකුත් දීමනා සම්බන්ධයෙන් නීති උපදෙස් අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
අදාළ පුද්ගලයන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි තීරණයක් දැනට ප්‍රකාශ කළ නොහැකි බව ද, නීති උපදෙස් අනුව ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ ය.
රටේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මුදල් මණ්ඩල සාමාජිකයන් වගකිව යුතු බවටත්, ඒ හරහා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවටත් චෝදනා ලැබීම අවාසනාවන්ත තත්ත්වයක් බව ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කරයි. එසේ ම ශ්‍රේෂ්ඨාධිකරණය වැනි ඉහළ අධිකරණයකින් දුන් තීන්දුවක් පිළිගැනීමට මුදල් මණ්ඩලය බැඳී සිටින බව ද හෙතෙම කියා සිටියේ ය.
රටේ පවතින ආර්ථික අර්බුදයට වගකිව යුතු බවටත්, ඒ හරහා මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවටත් හිටපු මහ බැංකු අධිපතිවරුන් වූ අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්‍ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්. ආටිගල ඇතුළු මහ බැංකුවේ මුදල් මණ්ඩල සාමාජිකයන් ද වගඋත්තරකරුවන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මගින් චෝදනාවට ලක්කළ අතර ඊට අමතරව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ සහ හිටපු ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන අය ද වගඋත්තරකරුවන් ලෙස චෝදනා ලැබූහ.