ලලිත් කොතලාවල දේපළ කොල්ලකන්න ඝාතනය කරා…? – ඥාතීන් පිරිසක් අධිකරණයට…

November 7, 2023 at 2:12 pm | by emanisa.lk

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ අධිපති ලලිත් කොතලාවල ප්‍රාණ ඇපයට රඳවාගෙන සිටි කණ්ඩායම් දෙකක සාමාජිකයන් පිරිසක් ඔහුගේ දේපළ අත්පත් කර ගැනීමෙන් අනතුරුව ඔහු මරා දැමීමට කටයුතු කර ඇති බවට සැකයක් පවතින බව ඔහුගේ බිරිඳගේ සොයුරියක වන සෙරින් පේෂන් ප්‍රනාන්දු ඊයේ (6) අධිකරණය හමුවේ පැවසුවා ය.

ලලිත් කොතලාවලගේ මරණයට අදාළ සාක්ෂි විමසීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ හමුවේ පැවති අතර එහිදී සාක්ෂි ලබාදෙමින් ඇය මේ බව පැවසුවා ය.

ලලිත් කොතලාවල මහතා අසනීප වූ අවස්ථාවේදී ඔහුව ළඟ ම පිහිටි පෞද්ගලික රෝහල වෙත රැගෙන නොගොස් නාරාහේන්පිට පෞද්ගලික රෝහල වෙත රැගෙන යාමට කටයුතු කිරීම පිළිබඳව සැකයක් මතුවන බව ද ඇය පැවසුවා ය. ඔහුගේ මරණයට හේතුව යටපත් කිරීම සඳහා පෙර සඳහන් කළ කණ්ඩායම් හා බම්බලපිටිය පොලිසිය අතර උත්සහයක් තිබී ඇත්දැයි සැකයක් මතුවන බවද ඇය පැවසුවා ය.

ලලිත් කොතලාවල මුලින් ම අංක 28 එලිබෑන්ක් පාර, කොළඹ 5 ලිපිනයේ පදිංචිව සිටි බව ද ඔහු මිය යන විට අංක 13 ඩික්මන් පටුමග, කොළඹ 4 ලිපිනයේ පදිංචිව සිටි බව ද ඇය පැවසුවා ය. ඔහු අවසන් වරට රැඳී සිටි නිවසට ඔහුව රැගෙන ගියේ ඉහත කී කණ්ඩායම් බවද ඇය පැවසුවා ය.

එම නිවසට රැගෙන යාමෙන් පසුව කොතලාවල මහතා සමග කතා බස් කිරීමට ඔහු වටා සිටි කණ්ඩායම් පවුලේ ඥාතීන්ට ලබාදුන් කාලසීමාව සීමිත බව ද ඒ සඳහා නිරෝෂා ප්‍රියදර්ශනී නමැතියකගේ අවසරය ලබා ගැනීමට සිදු වූ බව ද ඇය ප්‍රකාශ කළා ය.

එසේ අවසරය ලබා ගෙන හෝ ඔහු සමග කතා කිරීමට ලැබුණු කාලය විනාඩි කිහිපයක් පමණක් බව ද ඇය ප්‍රකාශ කළා ය. ඔහු බලන්නට ගිය ඇතැම් අවස්ථාවන්වලදී ඔහු මානසික තත්ත්වයෙන් ඉතා දුර්වලව සිටි බව ද පැවසුවා ය.

ලලිත් කොතලාවල මහතාට එරෙහිව ගෝල්ඩන් කී සමාගමේ මුදල් තැන්පත් කිරීමට අදාළ නඩු කටයුතු ආරම්භ වීමෙන් පසුව ඔහුගේ ව්‍යාපාර කටයුතු උඩුයටිකුරු වූ බව ද ඒ සම්බන්ධයෙන් ඔහු දැඩි මානසික පීඩාවකින් සිටි බව ද කීවා ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු රක්ෂිත බන්ධනාගාරගතව සිට නිදහස්ව පැමිණි අවස්ථාවේදී යතුරුපැදියකින් පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරියෙකු හා තවත් පොලිස් නිලධාරියෙකු කොතලාවල මහතාගේ නඩු කටයුතුවලට අවශ්‍ය සහය ලබා දෙමින් කටයුතු කළ බව ද පැවසුවා ය.

එමෙන් ම නීති විද්‍යාලයෙන් නීතිය හදාරා පැමිණි නීතිඥවරුන් තිදෙනෙකු ද කොතලාවල මහතාගේ නිවසට පැමිණ ඔහුගේ හිත දිනා ගැනීමට විවිධ කටයුතු කර ඇති බව ද ඇය පැවසුවා ය.

මෙම කණ්ඩායම් දෙක දෙපාර්ශවයක් වශයෙන් කටයුතු කරමින් සිටින අතර ඔවුන් කොතලාවල මහතාගේ දේපළ අත්පත් කර ගැනීමට කටයුතු කර ඇති බව ද ඒ සම්බන්ධයෙන් අධිකරණවල නඩු පවා පවරා තිබුණු බව ද ඇය පැවසුවා ය.

කෙසේ හෝ පසුව දෙපාර්ශවය ම සිය නඩු ඉල්ලා අස්කර ගනිමින් ඔවුන් එක කණ්ඩායමක් බවට පත්ව කොතලාවල මහතාගේ දේපළ නීති විරෝධී ආකාරයෙන් අත්පත් කරගෙන ඇති බව ද පැවසුවා ය.

කොතලාවල මහතා ළඟ වසර 30ක් 40ක් සේවය කළ සේවකයන් ඉවත් කිරීමට මෙම කණ්ඩායම් දෙක සූක්ෂ්මව කටයුතු කර තිබුණු බව ද එපමණක් නොව, කොතලාවල මහතාගේ නීතිඥ පවා ඔහුගෙන් ඉවත් කිරීමට එම කණ්ඩායම් කටයුතු යොදා ඇති බව ද ඇය පැවසුවා ය.

කොතලාවල මහතා අවසන් මොහොතේ රඳවා තිබූ ස්ථානයෙන් පිටතට යාමට පවා නොහැකි වන පරිදි ඔහු රඳවා සිටි නිවස අඳුරු පැහැ ගන්වා තිබූ බවද ඇය පැවසුවා ය.

කොතලාවල මහතා ඉතා සතුටින් සිටින බව පෙන්වීමට මෙම පුද්ගලයන් කටයුතු කර ඇතත් ඔහු රඳවා සිටි පරිසරය ඉතා ම පීඩාකාරි පරිසරයක් බව ත් මේ පීඩාකාරී තත්ත්වය ඔහුගේ මනසට විශාල වශයෙන් බලපා තිබූ බව ද ඇය ප්‍රකාශ කළා ය.

කොතලාවල මහතාගේ සුවදුක් විමසීම සඳහා ඔහුගේ සහෝදරියන්ගේ දියණියන් දෙදෙනෙකු ඔහු රඳවා සිටි ස්ථානයට ගොස් කතා කර කර සිටින අවස්ථාවේදී දැන් වෙලාව 11යි මට වැසිකිළියට යන්න ඕනෑ බව පවසමින් ඔහු එම ස්ථානයෙන් පිටත්ව ගොස් නැවත පැමිණ ඇති බව ද ඔහුගේ මනස කොතරම්දුරට පාලනයකට යටත්ව තිබුණු බව එයින් පෙන්නුම් කරන බව ද ඇය පැවැවා ය.

මෙය ස්වාභාවික මරණයක් නොව පුද්ගලයන් කිහිප දෙනෙකුගේ ක්‍රියාදාමයන් නිසා සිදු වූ මරණයක් බවට තමා තරයේ ප්‍රකාශ කරන බව ද ඇය වැඩිදුරටත් සාක්ෂි ලබා දෙමින් පැවසුවා ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *