අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා සහ සලිඳු මල්ෂක නොහොත් පානදුරේ කුඩු සලිඳු යන අයට සුපිරි වෙළඳ සැලකින් ආහාරපාන ලබා ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පෙරේදා (18) අවසර ලබා දුන්නේය.
සැකකරු රඳවා සිටින ස්ථානය භාර ස්ථානාධිපතිවරයා නම් කරන නිලධරයකු මගින් එම ආහාර පාන ලබාගැනීමට කටයුතු කරන ලෙසට මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
සැකකරුවන් වෙනුවෙන් මෝසමක් ඉදිරිපත් කරමින් ඔවුන්ගේ නීතීඥවරුන් වන සංජය ආරියදාස, නිතීඥ ජාලිය සමරසිංහ සහ නිතීඥ ඉවෝන් නිරාශා අධිකරණය හමුවේ පෙනී සිටිමින් සඳහන් කළේ තම සේවාදායකයින්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන ආහාරපාන ප්‍රමාණවත් නොවන බවය.
ඒ හේතුවෙන් පිටතින් ආහාර ලබා ගැනීම සදහා අවශ්‍ය පහසුකම් සලසන ලෙසට මෙහිදී නිතීඥවරුන් අධිකරණයෙන් ඉල්ලූ අතර ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය එම ඉල්ලීම්වලට ඉඩ ලබා දුන්නේය.