ලංකාවේ වැඩවර්ජන පිටුපස ඉන්නේ අසල්වැසි රටවල්…! – වජිර…

October 13, 2023 at 3:41 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති සිදුකරන ඇතැම් වැඩවර්ජන පිටුපස අවට රටවල් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ගාල්ලේ ඊයේ (12) පැවති ජන හමුවක දී ය.

මෙරට රාජ්‍ය අංශයේ ලාභ ලබන ආයතන බිඳ වට්ටවා ව්‍යාපාර සිදුකරගෙන යාමට එම රටවල් උත්සාහ කරන බව පැවැසූ සභාපතිවරයා, වැඩවර්ජන හේතුවෙන් එසේ වසා දැමුණු රාජ්‍ය අංශයේ කම්හල් බොහෝ ප්‍රමාණයක් තිබෙන බව සඳහන් කළේ ය.

චීනය, සිංගප්පූරුව, මැලේසියාව, දකුණු කොරියාව, ජපානය වැනි රටවල් ව්‍යවස්ථාවෙන්ම වැඩවර්ජනවලට බාධාවන් පමුණුවා තිබෙන බවත්, ශ්‍රී ලංකාව ද ලෝකයේ දියුණු රටක් මට්ටමට ගෙන ඒමට නම් එවැනි ව්‍යවස්ථාවක් නිර්මාණය කරගත යුතු බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ය.

චීනය, සිංගප්පූරුව, මැලේසියාව, ජපානය වැනි රටවල මෙන් ශ්‍රී ලංකාව ද දියුණු කළ යුතු යැයි සඳහන් කරන ඇතැම් දේශපාලන පක්ෂ එම රටවල සිදුනොවන ආකාරයේ වැඩවර්ජන හා උද්ඝෝෂණ කරමින් මෙරට වල්බූරු නිදහසක් භුක්ති විඳීමට උත්සාහ කරන බව ද හෙතෙම කීවේය.

සිංගප්පූරුව තුළ සිතෙන සිතෙන දේ සිදුකළ හැකි ආකාරයේ එවැනි වල්බූරු නිදහසක් නොමැති බවත්, එරට විශ්වවිද්‍යාල සිසුන් විරෝධතා කිරීමට හෝ රාජ්‍ය සේවකයින් වැඩවර්ජන කිරීමට හෝ ඉදිරිපත් නොවන බවත් වජිර අබේවර්ධන වැඩි දුරටත් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *