සියලු බෙදීම් අතික්‍රමණය කොට සතුටු දැයක් හදනවා…! – MJP නායක දිලිත් ජයවීර…

October 11, 2023 at 2:03 pm | by emanisa.lk

ශ්‍රී ලාංකික අපගේ ජාතික සභ්‍යත්වය පිළිබඳ පොදු නිර්වචනයක් තුළින් මේ වන විට විවිධ දේශපාලන අවශ්‍යතාවයන් සඳහා ජාති, ආගම් වශයෙන් බෙදී ඇති මව්බිමේ සියලු බෙදීම් අතික්‍රමණය කළ යුතු යැයි මව්බිම ජනතා පක්ෂ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අංක 11, උද්‍යාන මාවත, කොළඹ 08 දරන ස්ථානයේ දී එම පක්ෂ මූලස්ථානය විවෘත කිරීමේ අවස්ථාව සමග අද (11) එකතු වෙමිනි.

එහි දී දිලිත් ජයවීර වැඩි දුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය. ”අද සුවිශේෂී දිනයක්, ”සතුටු දැයක්” නිර්මාණය කිරීමේ තේමාව යටතේ සුහුරු ව්‍යවසායකත්ව රාජ්‍යයක් නිර්මාණය කිරීම උදෙසා ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව, ශ්‍රී ලාංකික කාන්තාවන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකික ජනතාවම බල ගැන්වීම වෙනුවෙන් මව්බිම ජනතා පක්ෂයේ ජාතික මුලස්ථානය විවෘත වෙනවා.

මේ රට ව්‍යවසායකයන්ගේ තෝතැන්නක් බවට පත්විය යුතු බව මා දැඩිව විශ්වාස කරනවා. නිදහසින් පසු අපේ රට තුළ දිගින් දිගටම ඇතිවූ සමාජ, ආර්ථික දේශපාලන තත්ත්වයන් පිටුපස තිබු ජාතික උපාය මාර්ගික ප්‍රවේශයන්හි අඩුව පුරවාලමින් ඉහළ දේශපාලන සාක්ෂරතාවකින් හෙබි ශ්‍රී ලාංකික සමාජයක් නිර්මාණය කළ යුතු වෙනවා. එමගින් සහභාගිත්ව දේශපාලන අවකාශයක් නිර්මාණය කිරීමට අපි බලාපොරොත්තුවනවා.

ශ්‍රී ලාංකික අපගේ ජාතික සභ්‍යත්වය පිළිබඳ පොදු නිර්වචනයක් තුළින් මේ වන විට විවිධ දේශපාලන අවශ්‍යතාවයන් සඳහා ජාති, ආගම් වශයෙන් බෙදී ඇති මව්බිමේ සියලු බෙදීම් අතික්‍රමණය කළ යුතුයි. එහිදී සියලු දෙනාම එකම රටක් තුළ එකම හද ගැස්මකට ඇතුළත්, එකාවන්ව නැගී සිටින හැඟීම ඔවුනොවුන්ට දැනෙන ජාතික මතවාදයක් ජනගත කළ යුතු බව මා විශ්වාස කරනවා. ඒ හැඟීම තුළින් දීර්ඝ කාලයක් පුරා අප මුහුණ දෙමින් සිටින අන්‍යොන්‍ය අවිශ්වාසය තුරන් කිරීම සඳහා පිළිගත හැකි වැඩපිළිවෙළක් අපි මව්බිම ජනතා පක්ෂය හරහා ඉදිරියේදී දියත් කිරීමට සූදානම්.

විශේෂයෙන්ම කෙටි කාලීනව ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික පසුබෑම නැවත සුබවාදී දිශානතියකට හරවාලීම උදෙසා විද්‍යාත්මක ආර්ථික වැඩපිළිවෙළක් සහ විද්‍යානුකූල දැක්මක් සහිත ආර්ථික ප්‍රතිපත්තියක් සමාජගත කළ යුතුයි. එමගින් දුර්මත මත පදනම් වූ යෝජිත වෙනස්කම් වෙනුවට වඩාත් ප්‍රශස්ත විසඳුම් මාලාවක් සාකච්ඡාවට භාජනය කළ යුතු වනවා. විශේෂයෙන්ම තරුණ ප්‍රජාව රට හැර යාම වළක්වාලමින් සුහුරු ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කර විදේශ විනිමය උත්පාදනය කිරීම සඳහා සුවිශේෂී අවධානයක් යොමු කළ යුතු වෙනවා. ඒ සඳහා මව්බිම ජනතා පක්ෂය සැදී පැහැදී කටයුතු කිරීමට සුදානමින් සිටිනවා.”

මෙම අවස්ථාවට සහභාගී වූ මව්බිම ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක හේමකුමාර නානායක්කාර අදහස් දක්වමින් ”මේ මාතෘභූමියේ දේශපාලන අවකාශය තුළ අන් මත නොඉවසීමේ සංස්කෘතිය වෙනුවට වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී සියලු අදහස් වෙත විවෘත මනසකින් සවන් දිය හැකි සමාජයක් සහ ඒ හරහා ප්‍රශස්ත වූත්, සහෘද වූත්, දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමට අපි අපේක්ෂා කරනවා.”යැයි ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *