ජනතාව පෙළන වැඩවර්ජන මඩින්න නීති ගේන්නැයි යෝජනාවක්…!

September 21, 2023 at 2:56 pm | by emanisa.lk

ජනතාවගේ එදිනෙදා කටයුතුවලට සම්බන්ධ කාර්යයන් අත්‍යවශ්‍ය සේවා වශයෙන් දීර්ඝ කාලීනව ප්‍රකාශයට පත් කිරීමටත් ඊට ආදාළ නිලධාරීන්ට කිසිම ආකාරයකට වැඩවර්ජනයකට සහභාගී වෙමින් ජන ජීවිතවලට බලපෑමක් ඇති කිරීමට නොහැකි වන ආකාරයට කඩිනම් නීති සම්පාදනයත් කළ යුතු බව බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

සුළු පිරිසක් විසින් සිය වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් සිදු කරන වැඩ වර්ජන හේතුවෙන් බහුතර ජනතාවගේ දෛනික ජීවිතයට බලපෑම් වන නිසා මෙම යෝජනාව ඉදිරිපත් කරන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

නිලධාරීන්ගේ වෘත්තීය ගැටලු ඇති වන අවස්ථාවක ඒවා විසඳීමට පිළිගත් ක්‍රමවේදයක් ද ඇතුළත් කරමින් මෙම නීති සම්පාදනය කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.

අත්‍යවශ්‍ය සේවා සපයන අංශයන්හි දිගින් දිගටම සිදු කරන වැඩවර්ජන හේතුවෙන් එදිනෙදා ජන ජීවිත වලට විශාල බලපෑමක් සිදුවන අතර ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් ද වන බව මධුර විතානගේ සිය යෝජනාව ඉදිරිපත් කරමින් සඳහන් කරයි.

මධුර විතානගේ මන්ත්‍රීවරයාගේ මෙම යෝජනාව පොහොට්ටුවේ මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය විසින් ස්ථීර කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *