වජිර කියන විදිමට ජනාධිපතිවරණයත් කල් දැමුවොත් එය ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමයි…! – ජී.ඇල්. පීරිස්…

September 18, 2023 at 6:56 pm | by emanisa.lk

2024 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය කල් දැමුවහොත් එය ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.ඇල්. පීරිස් පවසයි.

අද (18) කොළඹ පැවති නිදහස ජනතා සභාවේ මාධ්‍ය හමුවේ දී හෙතෙම මේ බව ප්‍රකාශ කළේ, පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ලබන වසරේ පැවැත්වීමට නියමිතව තිබෙන ජනාධිපතිවරණය කල් දැමීම යෝග්‍ය බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සිදු කළ ප්‍රකාශයක් පිළිබඳ අදහස් දක්වමිනි.

රජය පවසන ආකාරයට ජනතා අවශ්‍යතා සපුරාලීමට නම් ජනතා පරමාධිපත්‍යය කැප කළ යුතු බවයි, මහාචාර්ය ජී. එල්.පීරිස් සඳහන් කළේ.

කෙසේ වෙතත් ලබන වසරේ ඔක්තෝබර් මස ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත් එසේ නොවන්නේ නම් ඉන්පසු සිටින ජනාධිපතිවරයා නීති විරෝධී ජනාධිපතිවරයෙක් වන බවත් හෙතෙම අවධාරණය කරයි.

“ලබන වසරේ ඔක්තෝබර් මාසයෙන් පසු නව ජනාධිපතිවරයෙක් තෝරාපත් නොගත්තොත් ජනාධිපතිවරයා සතු කාර්ය භාර සියල්ලම අහෝසි වෙනවා. දෙවන ණය වාරිකය ලබාදීම සඳහා IMF නියෝජිතයින් මෙරට සමීක්ෂණ කටයුතුවල නියැළෙන අවස්ථාවක මෙවැනි ප්‍රකාශ සිදු කිරීම නුවණට හුරු නැහැ.

ජනාධිපතිවරණ නියමිත කාලයට නොපැවැත්වුවහොත් දේශීය මෙන්ම විදේශීය වශයෙන් ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවෙයි. ජනාධිපති ධූර කාලය අවසන් වූ පසු මහජන මතය උරගා බැලිය යුතු බවට ප්‍රථම විධායක ජනාධිපතිවරයෙක් වූ ජේ.ආර්. ජයවර්ධන මහතා ද ප්‍රකාශ කර තිබුණා. බලයේ කේන්ද්‍රස්ථානය වන්නේ මහජන කැමැත්ත.

පළාත් පාලන, පළාත් සභා මැතිවරණ කල් දැමුවා සේ ජනාධිපතිවරණය කල් දැමීමට හැකියාවක් නැහැ. යම් හෙයකින් ජනාධිපතිවරණය කල් දමා ඒකාධිපති පාලනයක් කරා ගමන් කරන්නේ නම් පොදු විපක්ෂය එයට විරුද්ධව දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් සටන් කරනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *