උදයංග තමන්ගේ මුදල් ඉල්ලා උසාවියට…!

September 13, 2023 at 12:00 pm | by emanisa.lk

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මිග් යානා ගනුදෙනුවේ මුදල් තැන්පත් කර ඇති බවට සැක කරමින් අත්හිටුවා ඇති සිය බැංකු ගිණුම් දෙකක මුදල් මුදාහරින ලෙස කොළඹ මහාධිකරණයෙන් ඉල්ලීමක් සිදුකර ඇත. ඒ අධිකරණය හමුවේ විශේෂ මෝසමක් ගොනු කරමිනි.

උදයංග වීරතුංග එලෙස අධිකරණයෙන් ඉල්ලා තිබෙන්නේ රුසියාවේ තානාපති ලෙස වසර 09ක් කටයුතු කළ තමන්ට ලැබුණු තානාපති වැටුප බැර කළ බැංකු ගිණුමේ මුදල් සහ මිග් ගනුදෙනුව සිදුවීමට පෙර (2006ට පෙර) තැන්පත් කළ තවත් බැංකු ගිණුමක මුදල් තමන් වෙත මුදාහරින ලෙසටය.

ඒ සම්බන්ධයෙන් උදයංග වීරතුංග වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති අතර, කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ඉදිරියේ නඩුව කැඳවා ඇත.

නීතිඥ අනිල් ද සිල්වා මහතා විසින්, උදයංග වීරතුංග ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සමක් ද අධිකරණයට ඉදිරිපත්කරමින් කියා සිටියේ, තම සේවාදායකයාගේ ගිණුම් ඒකපාර්ශ්විකව වසර 08ක් තිස්සේ අත්හිටුවා තිබීමෙන් ඔහු මහත් ආර්ථික අපහසුතාවකට පත්වී ඇති බවයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේදී මුල්‍යමය අක්‍රමිකතාවයක් සිදුවී ඇති බවට 2015 වසරේ දී දුෂණ විරෝධි කමිටුවට ඉක්බාල් අතාස් නමැති මාධ්‍යවේදියා පැමිණිලි කර තිබුණි. 2006 මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් 2015 මාර්තු 26 දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ගොනු කළ පැමිණිල්ලක් අනුව විමර්ශනයක් ආරම්භ කෙරුණි.

පුරා වසර 08 කට වැඩි කාලයක් කලින් කලට ඒකපාර්ශ්විකව බැංකු ගිණුම් අක්‍රිය කිරීම තුළින් පවුලේ එකම ආදායම්ලාභියාගේ දරුවන් දෙදෙනාගේ අධ්‍යාපනයේ අඟහිඟකම් මතුවී ඇති අතර, මාස්පතා කරන සියලු ගෙවීම් වසර 08කට වැඩි කාලයක්‌ නතර වී ඇති බව ද එමගින් මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදුවී ඇති බව ද පෙන්වාදී ඇත.

මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් ජනාධිපති නීතිඥවරයා කළ කරුණු දැක්වීම් සලකා බැලීමෙන් පසු නීතිපතිවරයාගේ ස්ථාවරය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් නඩු විභාගය එතෙක් කල් තබා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *