අද (12) මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ එම යෝජනාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බවය.
ඒ අනුව හෙට (13) දිනයේ සිට ජනතාවට මුහුණ දීමට සිදුවන අපහසුතා මඟහැරී යන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
“මම ජනාධිපතිතුමාගෙන් ලිඛිතව ඉල්ලනවා, අද මධ්‍යම රාත්‍රි 12 සිට ලංකාණ්ඩුවේ දුම්රිය සේවය මහ ජනයාට අත්‍යාවශ්‍ය සේවයක් බවට පරිවර්තනය කරලා හෙට සිට ජනතාව පීඩාවට පත්වීම වළක්වා ගන්න කියලා. කිසිදු වැඩවර්ජනයකට සහභාගී නොවී තමන්ගේ වගකීම නිසි ලෙස ඉටුකළ අනෙකුත් අනෙක් වෘත්තීය සමිති සහ ඒවායේ 18,000ක් පමණ සේවකයින් වෙනුවෙනුත් ඒ ක්‍රියාමාර්ගය අපි ගන්නවා.”
මහනුවර කොළඹ දුම්රියේ වහලේ ගමන් කළ තරුණයෙකු ඉන් ඇද වැටී මිය යාම පිළිබඳ ඇමැතිවරයා මෙසේ ප්‍රකාශ කළේය.
“මේ මරණය ගැන අපි අතිශය කනගාටු වන අතර, මෙම මරණයට සම්පූර්ණයෙන්ම හිතුවක්කාර වෘත්තීය සමිතිවල වැඩවරපු 84 දෙනාම මේ මරණයේ වගඋත්තරකරුවන්. යුක්තිය පසිඳලන ආයතන තියෙනවා නම් මේ දරුවාට දෙමාපියන් ඉන්නවා, මේ වර්ජනය කරපු අයත් දෙමාපියන් වෙන්න පුළුවන්.
නමුත් හිතුවක්කාර වර්ජනයක් කරේ. හෙට සාකච්ජාව දීලා තියෙද්දි පොරොන්දු වෙලා නිල වශයෙන් දැනුම්දීලා තියෙද්දි එපා කියද්දි 84 දෙනෙක් පමණක් මෙහෙම වර්ජනය කිරීම සම්පූර්ණයෙන්ම දුම්රිය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කිරීමක්. ඒ නිසා මේ ත්රස්තවාදයට යටත්වෙන්න රජයක් විදියට අපි සුදානම් නෑ. මෙවැනි අනීතික වැඩ වර්ජනයක් කරලා මෙහෙම නිරායුධ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත නැති වෙනවා නම් මේක මිනිමැරුමක්.”