හරක් කටා CIDයෙන් පැන යන සැලසුම නූලෙන් ගැස්සෙයි…! සහය දුන් කොස්තාපල් පළා යයි…!

September 11, 2023 at 7:43 pm | by emanisa.lk

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු මෙන්ම ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකු වශයෙන් හැදින්වෙන නදුන් චින්තක හෙවෙත් හරක් කටා පළා යාමට දැරූ උත්සාහයක් ව්‍යවර්ථ වී තිබේ.

හරක් කටාට මේ සඳහා සහය දැක් වු බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු සිද්ධියෙන් පසු කිසිවකුට නොදන්වා පළා ගොස් ඇත.

හරක් කටාගෙන් ප්‍රශ්න කිරීම සඳහා පෙරේදා පස්වරු 12.30 ට පමණ ඔහු රඳවා සිටින සිව්වන මහලේ සිට 6 වැනි මහලේ ඇති මහජන පැමිණිලි විමර්ශන ඒකකය වෙත රැගෙන ආ අවස්ථාවේ වැසිකිලියට යාමට අවශ්‍ය බව දැන්වීමෙන් පසු පොලිස් කොස්තාපල්වරයකු සමඟ මංචු දමා වැසිකිලියට රැගෙන ගොස් නැවත පැමිණෙන අවස්ථාවේ මෙය සිදුව ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

සැකකරු වැසිකිලියේ සිට ඉහත පොලිස් කොස්තාපල්වරයා සමග පැමිණ එකවරම එහි සිටි උප පොලිස් පරීක්ෂකවරයාගේ ඇඟට පැන ඔහු බිම පෙරළාගෙන සැකකරුගේ අතේ තිබු මාංචු කුට්ටම උප පොලිස් පරීක්ෂකවරයා අතට දමා ගිනි අවිය උදුරා ගැනීමට තැත්කර ඇත.

උප පොලිස් පරික්ෂාවරයා සැකකරු සමග පොර බදමින් ආධාර ඉල්ලා කෑ ගසා ඇති අතර, සුළු මොහොතකින් එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් සැකකරු වන හරක් කටා මෙල්ල කර අල්ලාගෙන ඔහු ඉවත රැගෙන ගොස් ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

වැසිකිලියට රැගෙන ගිය සැකකරු නැවත කැඳවාගෙන එන අතරේ දැනට පලාගොස් සිටින සැකකාර කොස්තාපල් සැකකරුට මංචු යුගළට අගුල් නොදමා රැගෙන එන්නට ඇති බවත්, ඒ අනුව ඔහු පැමිණි වහාම උප පොලිස් පරික්ෂකවරයාගේ ඇගට පැන ඇති බව ද සඳහන්ය.

ඉරිදා නිවාඩු දිනයක් බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ හිගයක් පවතින බැවින් ඒ බව දැනගෙන සියල්ල සැලසුම් කර සැකකරු මේ ආකාරයෙන් පලා යාමට සැලසුම් කර ඇති බවට සැකකරන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *