ශ්‍රී ලංකන් ගන්න ඉන්දියාවේ TATA සූදානම්…!

August 19, 2023 at 6:15 pm | by emanisa.lk

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ දී එය මිලට ගැනීමට ගල්ෆ් කලාපයේ ගුවන් සමාගම් උනන්දු වන බව ද, කලක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ 40% ක කොටස් හිමිකරගෙන සිටි එමිරේට්ස් ගුවන් සේවය ද ඒ අතර විය හැකි බව ද එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නුටාල් පවසයි.

බිලියන 1.4ක ජනගහනයක් සිටින ඉන්දියාවේ වාණිජ ගුවන් යානා ඇත්තේ මිලියනයකට 0.5ක් පමණක් වන හෙයින් ඉන්දියාව වැනි රටකට ප්‍රවේශ වීමට ගල්ෆ් කලාපයේ ගුවන් සමාගම්වලට එතුළින් අවස්ථාවක් නිර්මාණය වන බව ද ඔහු සඳහන් කර ඇත.

මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ පසුගියදා ඉන්දියානු ගුවන් සේවය මිලදී ගත් ටාටා එන්ටප්‍රයිසස් සමාගමද ශ්‍රී ලංකන් ගුවන් සමාගම මිලදී ගැනීමට උනන්දු වන බවය.

1998 සිට වසර 10ක කාලයක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් හිමිව තිබුණේ එමිරේට්ස් සමාගමටය. එම කාලය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 30ක පමණ ලාභයක් ලද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් 2008 දී යළි ශ්‍රී ලංකා රජයට පවරා ගැනුණු අතර රජයේ පරිපාලනය යටතේ වසර හතක කාලයක් තුළ එය ඩොලර් මිලියන 875ක අලාභයක් ලැබීය.

කෙසේ වුව ද කොවිඩ් වසංගතය හමුවේ සංචාරක කර්මාන්තය බිඳ වැටීම, පාස්කු ප්‍රහාරය සහ ආර්ථිකය බිඳවැටීම තුළින් ශ්‍රී ලංකන් ගුවන් සේවයට දැඩි බලපෑමක් එල්ල විය. වසර 15 පසු 2023 වසරේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇමෙරිකානු ඩොලර් බිලියනයක පිරිවැටුමක් යටතේ ඩොලර් මිලියන 100ක මෙහෙයුම් ලාභයක් ලබා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *