ජාතික රූපවාහිනිය අර්බුදයට පත් කළ අය විසින්ම එය හොර රහසේ විකිණීමට යන බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික, වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි.
තවද,තම තමන්ගේ දේශපාලන ප්රතිරූප පුම්බා ගන්න කළ විකාශනයන් වෙනුවෙන් රාජ්‍ය සංස්ථා, දෙපාර්තමේන්තු සහ අමාත්‍යාංශවලින් රූපවාහිනියට නොගෙවූ විශාල මුදලක් තිබෙන බවයි, ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකට එකතු වෙමින් ඔහු සඳහන් කළේ.
විශේෂයෙන්ම මාධ්‍ය නාලිකාවක් පවත්වාගෙන යන්න වැඩසටහන් නිෂ්පාදනය කළ යුතු බවත් රූපවාහිනියේ එවැනි ගුණාත්මක වැඩ සටහන් නිෂ්පාදන ක්‍රියාවලිය පසුගිය කාලයේ අත්හැරි බවත් හෙතෙම කියා සිටියේය.
“පාලකයින් මේ වන විට රූපවාහිනිය කෙතරම් ඇදවට්ටා තිබෙනවාද කියතොත් සමහර මාසවල සේවකයින්ට වැටුප් ගෙවීමට පවා නොහැකි තත්ත්වයක් පවතිනවා. තමන්ට හිමි වැටුප ලබාගැනීමට ඔවුන් අධ්යක්ෂ ජනරාල්වරයාගේ කාමරය වට කරන තත්ත්වයක් ඇති වී තිබෙනවා. පසුගිය කාලය පුරාම බලයේ සිටි ආණ්ඩු විසින් ක්‍රියාත්මක කළ වැරදි ආකාරය නිසා සහ විශේෂයෙන්ම මැතිවරණ කාලයේ බලයේ සිටි ආණ්ඩු මේ සංස්ථාව අවභාවිත කිරීම නිසා, ගෙවිය යුතු නියමිත මුදල් නොගෙවීම නිසා මේ තත්ත්වයට වැටී තිබෙනවා. කෝප් සහ කෝපා කමිටු වාර්තා ආශ්රයෙන් මේ තත්වයට ඕනෑ තරම් නිදසුන් දෙන්න පුළුවන්.
ක්‍රීඩා තරග විකාශනය කිරීමට ආරම්භ කළ චැනල් අයි සහ දෙමළ භාෂාව කතා කරන ජනතාව වෙනුවෙන් ආරම්භ කළ නේත්‍රා නාලිකාවත් දක්වා ව්‍යාප්ත කළා. මෙයින් චැනල් අයි නාලිකාව මාසයකට රු. කෝටි 2.5 බැගින් විකිණීමේ කටයුත්තක් දැන් දියත් කර තිබෙනවා. පසුගිය ජුනි 30වැනිදා සිට මාස 06කට බලපැවැත්වෙන පරිදි චැනල් අයි නාලිකාවේ ගුවන් කාලය, වී.අයි.එස්. බ්‍රෝඩ්කාස්ටින් ආයතනයට විනිවිදභාවයකින් තොරව හොර රහසේ විකුණා තිබෙනවා. රූපවාහිනී සේවකයන් අතරින් සහ මේ පිළිබඳව කරුණු දැනගත් අයගෙන් එල්ල වුණු විරෝධය හමුවේ ජනමාධ්‍ය ඇමතිවරයා අනුමැතිය ලබා ගැනීම වෙනුවෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළත් අද උදෑසන එය අනුමත කරගත නොහැකි වුණු බව අපට වාර්තා වෙනවා.”