පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ට එරෙහිව මරදාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.
ඒ ජාතික ඖෂධ නියාමන අධිකාරියට අනීතික ලෙස ඇතුළු වී එහි නිලධාරීන්ට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
එම අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඇතුළු පිරිසක් විසින් ඊයේ (03) අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
පැමිණිලිකරුවන් පවසන්නේ සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඇතුළු පිරිසක් ජාතික ඖෂධ නියාමන අධිකාරියට අයුතු ලෙස ඇතුළු වී අනවසරයෙන් එහි දත්ත ලබාගැනීමක් සිදුකර ඇති බවයි.
කථානායකවරයාගේ පූර්ව දැනුවත් කිරීමකින් තොරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දත්ත ලබාගැනීම සඳහා ආයතන වෙත ඇතුළු විය නොහැකි අතර මෙම අනීතික ක්‍රියාවට එරෙහිව පරීක්ෂණයක් සිදුකළ යුතු බව ඔවුහු පෙන්වා දෙති.
සෞඛ්‍ය පද්ධතිය තුළ සිදු වී ඇති විවිධ වංචා සහ දුෂණ හෙළි කිරීම හේතුවෙන් තමා ඇතුළු සමගි ජන බලවේගයේ සෞඛ්‍ය කමිටුවේ සාමාජිකයින්ට මරණ තර්ජන එල්ල වී ඇති බවත් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ද යොමුකළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන පවසයි.