මේ අවස්ථාවේ අත්‍යාවශ්‍ය සේවා පමණක් පවත්වා ගෙන යමින් රට වසා දැමීමට කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරයි.
එමෙන්ම විදුලි බල මණ්ඩලය වහාම විශේෂඥ මණ්ඩලයකගේ පාලනයට භාර දිය යුතු බව ද කොළඹ දී අද(31) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම කීවේය.
ආණ්ඩුව උදා කළ සෞභාග්‍යමත් රටේ හැත්තෑ පන් ලක්ෂයක් විදුලි පරිභෝගිකයන්ට පැය විසි හතරෙන් පැය දහතුනක් විදුලිය නොමැතව ජීවත් වෙන්න සිදුව ඇතැයිද ඔහු පැවසීය.
විදුලි බලය නොමැතිව කුඩා පරිමාණයේ වෙළඳසැල් හාර ලක්ෂයකට අධික ප්‍රමාණයක් සහ දස ලක්ෂ සංඛ්‍යාත කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සියල්ලම අද වැනසී යන තත්වයකට පත්ව ඇතැයිද හෙතෙම කීවේය.
කුඩා හා මධ්‍ය පරිමාණ වෙළඳ ස්ථාන ශීතකරණ භාවිතායෙන් ආහාර හා ඖෂධ කල් තබා ගන්නා ස්ථාන අද ඉතාමත්ම භයානක අර්බුදයකට ගොදුරු වීමෙන් ආහාරවල ප්‍රමිතිය පිළිබඳ, ඖෂධවල ප්‍රමිතිය පිළිබඳ බලගතු ප්‍රශ්න මතුව ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ජනතාව ඉදිරියේ තියෙන අර්බුදය මේ ආණ්ඩුව තව දුරටත් තේරුම් ගෙන නැතැයිද රණවක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.