කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී නරක්වූ වකුගඩුවක් ඉවත් කිරීම සඳහා සිදුකළ ශල්‍යකර්මයකදී අවුරුදු 3 මාස 3 ක් වයසැති පිරිමි දරුවකුගේ නිරෝගී වකුගඩුව ද ඉවත් කිරීම නිසා එම දරුවා මියයෑම සම්බන්ධයෙන් සහ එම ශල්‍යකර්මය සිදුකළ වෛද්‍යවරයා පිළිබඳව පුළුල් විමර්ශනයක් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය ඊයේ (02) බොරැල්ල පොලිසියට නියෝග කළාය.
අත්වැරදීමකින් වකුගඩු දෙකම ඉවත්කර ඇති බවට මින් පෙර අධිකරණයට කරුණු වාර්තා කර තිබූ එම ශල්‍යකර්මයේදී ඉවත් කළ නිරෝගී වකුගඩුවට කුමක් සිදුවූයේ දැයි අනාවරණය කරගැනීම සඳහා ද විමර්ශන සිදුකරන ලෙසට ද පොලිසියට නියම කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය එකී මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළේ යැයි කියන අධිකරණ වෛද්‍ය නිලධාරියා (JMO) තම අධිකරණයට ඉදිරිපත් කර ඇති පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව පදනම් කරගෙන එකී විමර්ශන සිදු නොකර ස්වාධීන සාක්ෂි ඔස්සේ විමර්ශන සිදු කරන ලෙසට ද පොලිසියට නියෝග කළාය.
එකී විමර්ශන සඳහා එම දරුවාගේ රෝග නිශ්චිත වාර්තා ඇතුළු සියලු වෛද්‍ය වාර්තා පොලිසියට ලබාදීමට පියවර ගන්නා ලෙසට ද අතිරේක මහෙස්ත්‍රාත්වරිය රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂවරයාට නියෝග කළාය. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් පසුගිය 29 වැනිදා සිදුකළ ස්ථානීය පරීක්ෂණයෙන් අනතුරුව දරුවාගේ මරණය නිශ්චිත කරගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙසට නියෝග කළ බවත් එකී නියෝගය අනුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි රුහුල් හක් ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අනුව එම දරුවාට උපතින්ම පිහිටා ඇත්තේ එක වකුගඩුවක් බව සඳහන් වන්නේ යැයි පොලිසිය අධිකරණයට පැවසීය.
එකී අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ඉදිරිපත් කර ඇති පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අසත්‍ය හා පදනම් විරහිත වාර්තාවක් බවත් දරුවා රෝහලට ඇතුළත් කළ පසු හා ඊට පෙර සී. ටී. ස්කෑන් පරීක්ෂණ ඇතුළු ස්කෑන් පරීක්ෂණ 15 ක් පමණ සිදුකර ඇති බවත් එකී සියලු පරීක්ෂණවලදී එම දරුවාට වම සහ දකුණ ලෙස වකුගඩු දෙකක් පිහිටා තිබූ බව සනාථ වී ඇති බවත් පෙන්වා දෙමින් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වෛද්‍ය වයි. එල්. එම්. යූෂුෆ් මහතා කරුණු දැක්වීය.
එබැවින් පෙර කී අධිකරණ වෛද්‍යවරයා එම දරුවාට උපතින්ම එක වකුගඩුවක් පමණක් පිහිටා ඇති බවට වාර්තාවක් ඉදිරිපත් කර ඇත්තේ කුමන හේතුවක් නිසා ද යන කරුණු සම්බන්ධයෙන් මෙන්ම නිරෝගී වකුගඩුව ද ඉවත් කළේ මන්දැයි පුළුල්ව විමර්ශන කළ යුතුව ඇතැයි ද පැවසූ නීතිඥ වෛද්‍ය වයි. එල්. එම්. යූෂුෆ් එය අත්වැරදීමකින් සිදුවූවක් නොව මිනිස් ඝාතනයක් බවට බලවත් සැකයක් පවතින්නේ යැයි ද පැවසීය.
එම අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මින් පෙර ද අධිකරණය හමුවේ පැවැති හදිසි මරණවලට අදාළ නඩු කටයුතු අවුල් සහගත වන ආකාරයෙන් අධිකරණ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර තිබෙන්නේ යැයි විවෘත අධිකරණය හමුවේ විමර්ශන නිලධාරීන්ට පැවසූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය එම දරුවාට තිබුණේ එක් වකුගඩුවක් බව දන්නේ නම් එයත් සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තරම් වෛද්‍යවරුන් මෝඩ දැයි කියා තමාට සිතාගත නොහැකි යැයි ද පැවසුවාය.