පසුගිය වසරේ මැයි මස 09 වන දා ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගල භූමියේ ඇතිවූ ගැටුම්කාරී සිද්ධියෙන් පසුව දිවයින පුරා ඇති වූ ප්රචණ්ඩ ක්රියා පාලනය කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඇතුළු ඊට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගන්නා ලෙස නීතිපතිවරයා වෙත රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර ලබා දුන්නේය.
මෙම පෙත්සම තුළින් ඉදිරිපත් කළ කරුණු පිරික්සීමේදී ඊට පොලිස්පතිවරයා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුව වගකිවයුතු යැයි පෙනී යන හෙයින් පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන බවයි අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ. ඒ අනුව සැප්තැම්බර් මස 27 වනදා මීට අදාළව අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසිද නිකුත් කළේය.
අරගල ක්රියාකාරිකයෙකු වන ජනත් එස්. විතාරණ විසින් ඉදිරිපත් කළ පෙත්සමක් මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
මෙම ගැටුම් පාලනය නොකිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඊට වගකිව යුතු බවට ශ්රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් නිර්දේශයක් නිකුත් කර තිබෙන බවත් පෙත්සම්කරු ප්රකාශ කර සිටියි.