උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්නේ නෑ..! මහින්ද කිව්වට 13 බලාත්මක කරන්නෙත් නෑ…! පොලිස් බලය බෙදන්න 2/3ක් ඕන…! – ජනපති

July 19, 2023 at 9:27 am | by emanisa.lk

උතුරු හා නැගෙනහිර ජනතාවගේ ගැටලු විසඳීමට අදාළ හොඳ ම යෝජනාවලිය තමා මේ වන විටත් ඉදිරිපත් කර ඇති බවත්, එය ඉදිරියට ගෙන යනවා ද නැද්ද යන්න ද්‍රවිඩ පක්ෂ නායකයන් තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ උතුරු හා නැගෙනහිර නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ ඊයේ (18) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති සාකච්ඡාවේදීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද මීට පෙර කැමැත්ත පළ කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් කළ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් ජනාධිපතිවරයා කියා සිටියේ තමා රනිල් වික්‍රමසිංහ මිස රනිල් රාජපක්ෂ නොවන බවයි.

තමාට අවශ්‍ය උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාවගේ ගැටලු විසඳීම මිස ඉන් දේශපාලන ප්‍රතිලාභ ලබා ගැනීම නොවන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් පූර්ණ බලය බෙදීමකට එකඟ වන්නේ නම් පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කළ හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

තමා උතුරු හා නැගෙනහිර ජනතාවට කිසිදු අවස්ථාවක අසාධාරණයක් සිදු නොකරන අතර මීට වඩා යමක් ඔවුන් වෙනුවෙන් සිදු කිරීමට නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ පූර්ණ සහයෝගය සාකච්ඡාවෙන් සහ සම්මුතියෙන් ලබාගත යුතු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අදාළව ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර පොලිස් බලතල හැරුණු කොට යෝජනාවේ ඇතුළත් සියලු බලතල ලබාදීමට හැකියාවක් ඇති නමුත් පොලිස් බලතල ලබාදිය හැක්කේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් ඊට එකඟවන්නේ නම් පමණක් වන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. එසේම පාර්ලිමේන්තුව තුළ 2/3ක බහුතරයක් ඊට අවශ්‍ය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.

බලය බෙදීමේ මූලික කටයුතු අවසන් වූ පසු පළාත් සභාවල කටයුතු පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත පනත් පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර ප්‍රාදේශීය ලේකම්වරු පත් කිරීම, අධ්‍යාපන, වෘත්තිය පුහුණු හා උසස් අධ්‍යාපන, කෘෂිකර්ම නවෝත්පාදන හා කර්මාන්ත, සංචාරක ආදී ක්ෂේත්‍ර කිහිපයකට අදාළ පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද සඳහන් කෙරිණි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය යටතේ පළාත් සභාවලට බලය ලබාදීමේ දී ඇතැම් විෂයයන් සම්බන්ධව තීරණ ගැනීමේ බලය මධ්‍යම රජයට පැවරෙන අතර එම විෂයයන් නෛතිකව ප්‍රකාශයට පත් කළ යුතු බව ද මෙහිදී සඳහන් කෙරිණි.

උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී ද්‍රවිඩ පක්ෂ නායකයින් කරුණු මතු කළ අතර ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ කිසිදු අයුරකින් උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමේ සූදානමක් හෝ ඒ පිළිබඳ සංවාදයක් හෝ රජය මතු කර නොමැති බවයි.

උතුරු නැගෙනහිර යුක්තිය පසිඳලීමේ කාර්යයේදී විදේශීය විනිසුරුවරුන්ගේ මැදිහත්වීමක් සිදු කිරීමට රජයේ කිසිදු සූදානමක් නැති බවත්, අවශ්‍ය නම් පමණක් දකුණු හා නැගෙනහිර ආසියනු රටවල පවතින ක්‍රමවේද අනුව විදේශීය නිරීක්ෂකයන්ගේ වාර්තා පමණක් ලබා ගැනීමේ හැකියාව ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රසන්න රණතුංග, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුරේන් රාඝවන්, එස්. වියාලේන්ද්‍රන්, එස්. චන්ද්‍රකාන්තන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්, සම්බන්ධන්, එම්. ඒ. සුමන්තිරන්, සී. වී. විග්නේෂවරන්, අංගජන් රාමනාදන්, සෙල්වම් අඩෙක්කලනාදන්, චාර්ල්ස් නිර්මලනාදන්, එස්. ශ්‍රීධරන්, ඩී. සිද්ධාර්ථන්, ශානක්‍ය රාසමානික්කම්, තවරාසා කලයිරසන්, කේ. දිලීපන්, ජී. කරුණාකරන් ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන ද්‍රවිඩ මන්ත්‍රිවරු සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඇතුළු රාජ්‍ය නිලධාරී පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *