කැනඩා රජය මගින් ශ්‍රී ලංකා රජයට එල්ල කරන විවිධ චෝදනාවලට විරෝධය පළ කර මඩකළපුව,වාලච්චේන සහ ඕටමාවඩි නගරවල කඩ සාප්පු වසා හර්තාලයක් දියත් විය.
එල්ටීටීඊ ඩයස්පෝරාව මානව හිමිකම් කවුන්සලය වෙත ඉදිරිපත් කර තිබෙන කරුණු සහ කැනඩා රජය ලක් රජයට සිදුකරන අනවශ්‍ය අතපෙවීම්වලටත් විරෝධය පළ කරමින් එම නගරවල වෙළඳසල් 300 කට ආසන්න ප්‍රමාණයක් වසා, කළුකොඩි ඔසවා එම ප්‍රකාශවලට විරෝධය පළ කරමින් මෙම විරෝධය සංවිධානය කර තිබිණි.
කල්කුඩා පීපල්ස් යන සංවිධානය මඟින් එම වසා ඇති වෙළඳසැල් ඉදිරිපිට අත් පත්‍රිකාවක් ද දමා ගොස් ඇති බවත්, මේ වන විට ඕටමාවඩි හා වාලච්චේන නගර පුරා කළු කොඩි ඔසවා සම්පුර්ණයෙන්ම වෙළෙඳසල් වසා ඇති බව වාලච්චේන පොලිසිය සඳහන් කරයි.
කැනඩා රජය මගින් ලෝකය හමුවේ ශ්‍රී ලංකාවට සිදු කරන අහිතකර බලපෑම් නතර කරන ලෙසත්, එල්ටීටීඊ ඩයස්පෝරාවේ මගින් ශ්‍රී ලංකාවට සිදුකරන විවිධ අඩත්තේටම් සහ බලපෑම් නතර කිරීමට කටයුතු කරන ලෙසත්, ශ්‍රී ලංකාව සියලු ජනතාවට යුද සමයේ දී සේම වර්තමානයේදී මානව හිමිකම් ආරක්ෂා කරමින්, සිංහල, දෙමළ, මුස්ලිම්, ජනතාවට එක සේ සලකන රටක් බවත්, එම පත්‍රිකාවල සඳහන් වන බව ද වාර්තා වෙයි.