ජාතික පක්ෂ සභාපති පාලිත රංගේ බණ්ඩාර ඇතුළු අයගේ කටේ සැර මේ වන විට වැඩි වී ඇති බවත් ඒ සැර වැඩි කලක් නොපවතිනු ඇති බවත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසයි.
“මේ පාරෙ යන කුඩුකාරයින්ටයි රස්තියාදුකාරයින්ටයි බයේ අපි නම් හැංගිලා හිටියෙත් නෑ, හැංගිලා ඉන්න බලාපොරොත්තුවකුත් නෑ. අපේ ඡන්දෙන් අතිගරු ජනාධිපතිතුමා පත්වුණාට පස්සේ රංගෙබණ්ඩාරලගේ කටේ සැර වැඩිවෙලා තියෙනවා.
ඔය සැර එච්චර කල් තියෙන්නෙ නෑ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපේ දිස්ත්‍රික් නායකයින් – ඒ ජනවරම ගන්න මහන්සි වෙච්ච මැති ඇමතිවරුන් ඉන්නේ ඒ හදපු ආණ්ඩුවේ අගුපිළිකන්නේ නම්, එහෙම ආණ්ඩුවක් තුළ තව දුරටත් අපට ඉන්න වුවමනාවක් නැහැයි කියන එක පැහැදිලිවම කියන්න ඕනෙ.”
සනත් නිශාන්ත මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින්ට පාරේ බැස යාමට හෝ අවස්ථාව ලැබුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිසා හෙයින් ඔවුන් ඒ සම්බන්ධයෙන් බොහෝ සෙයින් කෘතඥ විය යුතු බවට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පසුගියදා මාධ්‍ය වෙත සිදුකර තිබුණු ප්‍රකාශයට පිළිතුරු වශයෙනි.