සජබ දැන් ආණ්ඩුවේ කොටස්කාරයෝ…! නියම විපක්ෂය හෙලිකොප්ටරේ…! – වලේබොඩ…

April 11, 2023 at 6:27 pm | by emanisa.lk

සමඟි ජන බලවේගය ආණ්ඩුව සිදුකරන සියලු ක්‍රියා අනුමත කරන හෙයින් ඔවුන් විපක්ෂය නොවන අතර සැබෑ විපක්ෂය ලෙස ක්‍රියා කරනුයේ හෙලිකොප්ටරය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ පවසයි.

දූෂණ විරෝධී පනත මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැතත් එය ගැසට් කරලා තිබෙන අතර මෙම පනත පිළිබඳ පුළුල් කතිකාවතක් මහ ජනතාවත් ව්‍යවස්ථාදායකය ක්‍රියාත්මක කරන අය තුළත් සිදුව නොමැති බවට මන්ත්‍රීවරයා චෝදනා කළේය.

මෙම පනත ප්‍රතිත්‍රස්ත පනතටත් වඩා භයානක වන බවත් තවත් පනත් තුනක් රජය මේ වන විට ගෙනවිත් තිබෙන අතර මේ පනත් තුන එකකට එකක් පරාජය නොවන අන්දමේ භයානක පනත් බව මන්ත්‍රීවරයා කියාසිටියේය.

“හෙලිකොප්ටරෙන් අපි ඉවත් වෙන්නේ නැහැ, හෙලිකොප්ටරෙන් අපි ඉවත් වෙනවා නම් අපි ඉවත් වෙන්නේ ඊට වඩා ලොකු බලවේගයකට ගොඩ වීමේ අරමුණෙන් පමණයි. ඇතැම් අය හෙලිකොප්ටරයෙන් බහින්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්, ඒත් අපි මේක අතහැරලා යන්නේ නැහැ.

පහුගිය දිනවල කතාවුණු විදියට ජාතික ආණ්ඩුවක් පිහිටවන්න මේ අය හදනවා. මෙහිදී ඊළඟ අවුරුදු පහ සඳහා දේශපාලන බලයත් පාර්ලිමේන්තුවේ බලයක්, එකම මතයක් දරන දේශපාලන පක්ෂයකට එනම් සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ක්‍රියාත්මක කරන්න සුදුසුයි කියන එක තමයි ඒ අයගෙ මතය. අපිට මේවා විවේචනය කරන්න බැහැ. ඒක ඒ අයගේ දේශපාලන මතය. අපි බලමු මොකද වෙන්නේ කියලා. ඒක කියන්නේ අපි නෙවෙයි සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඉන්න රාජිත. ඒ අය තමයි කියන්නේ අපි ගිහිල්ලා දේශපාලන බලය අත්පත් කරගන්නවා කියලා.

දැන් තියන නියම විපක්ෂය අපි. සමඟි ජන බලවේගය ආණ්ඩුව ගෙන හැම එකටම එකඟයිනේ. IMF එකට එකඟ වුණා, ආයතන ප්‍රතිව්‍යුහගතකරණයට එකඟ වුණා, විපක්ෂය කියනවා නම් ආණ්ඩුව කරන සියලු දේ අනුමත කරනවා කියලා, විපක්ෂයේ ආණ්ඩුවේ අතර වෙනස මොකද්ද? ඒ නිසා ඉදිරියට සැබෑ විපක්ෂය අපි සමගි ජන බලවේගය නෙවෙයි.”

අද (11) කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *