ගල් අඟුරු ඉන්ධන මිලට සාපේක්ෂව විදුලි ගාස්තුව 30කින් අඩු විය යුතුයි…!

April 4, 2023 at 8:11 pm | by emanisa.lk

විදුලි ඉල්ලුමේ අඩුවීම, ඩොලරයේ අගය අඩුවීම සහ ඉන්ධන සහ ගල් අගුරු පිරිවැය අඩුවීම හේතුවෙන් විදුලි ගාස්තු ද ඊට සමගාමීව සියයට 30 කින් අඩුකිරීමේ හැකියාව ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

මෙම සියලු සාධක පිළිබඳව අවධානය යොමුකර විදුලි ගාස්තු අඩු කිරීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලි බල මණ්ඩලයට මාර්තු 30 වැනි දින නිර්දේශ කළ බව හෙතෙම කීය.

ඉහළ විදුලි ගාස්තුවෙන් දැඩිව පීඩාවට පත්ව සිටින ගෘහස්ථ අංශයේ ලක්ෂ 50ක පමණ විදුලි පාරිභෝගිකයින්ට සහ කුඩා ව්‍යාපාරවලට කඩිනමින් සහනයක් සැපයීමට විදුලි ගාස්තු අඩු කිරීම අනිවාර්යෙන්ම කළ යුතු බව ද ජනක රත්නායක සඳහන් කළේය.

ලංකා විදුලි බල මණ්ඩලය ගාස්තු යෝජනා සකස්කරන විට ගල් අගුරු කිලෝ එකක මිල රුපියල් 104 ක් ලෙස පදනම් කරගෙන තිබුණ ද මේ වන විට ගල් අගුරු කිලෝවක් රුපියල් 59.60 ක් බවට පත්ව ඇති බවත්ය.

ඒ වන විට ලීටරය රුපියල් 270ක් ලෙස සැලකු දැවිතෙල් ලීටරයක මිල රුපියල් 187.50 ක් දක්වා ද නැප්තා ලීටරයක මිල රුපියල් 220ක සිට රුපියල් 153 ක් ද, ලීටරය රුපියල් 405 ක් ලෙස සැලකූ ඩීසල් ලීටරයක මිල අද වන විට රුපියල් 247 ක් දක්වා පහළ බැස ඇති බවත් ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්ධන අඩු මිලට දී විදුලි පාරිභෝගිකයාට සහන සැලසිය යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

කොල්ලුපිටියේ පිහිටි මහජන උපයෝගිතා කොමිසමේ කාර්යාලයේදී අද (4) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එහි සභාපති ජනක රත්නායක එසේ පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *