මුදල් ගෙවා මෙරට වෛද්‍ය පීඨවලට දේශීය සිසුන්ට ඇතුළත්වීමට අවස්ථාව ලබා දෙන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ පෞද්ගලික වෛද්‍ය පීඨවලට රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබා දීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා සෞඛ්‍ය රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළගේ ප්‍රධානත්වයෙන් පත් කර තිබෙන කමිටුවටය.
දිස්ත්‍රික් පදනම අනුව ඇතැම් දිස්ත්‍රික්කයන්හි වෛද්‍ය පීඨවලට ඇතුළත් වන සිසුන්ගේ ඉසඩ් අගයට වැඩි අගයක් ලබා ගන්නා වෙනත් දිස්ත්‍රික්කයන්හි සිසුන්ට වෛද්‍ය පීඨවලට ඇතුළත් වීමට අවස්ථාව නොලැබෙන්නේය යන පදනම මත මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
එවැනි සිසුන්ට මුදල් ගෙවා හෝ වෛද්‍ය පීඨවලට ඇතුළත් වීමට අවස්ථාව දිය යුතුය යන්න කොමිෂන් සභාවේ අදහස වී ඇත. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවටද කරුණු දක්වා තිබේ. විදෙස් විශ්වවිද්‍යාල වෙත ගොස් අති විශාල මුදලක් වැය කොට දහදුක් විඳින කෙනෙකුට මෙම අවස්ථාව ලබා දීම අසාධාරණ නොවන බව ද හෙතෙම අවධාරණය කර ඇත.
එම අදහස පිළිබඳව කරුණු දක්වමින් කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර ප්‍රකාශ කර ඇත්තේ වෛද්‍ය පීඨවලට අවස්ථාව නොලැබ වෙනත් පීඨවලට ඇතුළත් වන සිසුන් ඊට විරුද්ධ විය හැකි බවය. ඊට පිළිතුරු වශයෙන් ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසා ඇත්තේ දිස්ත්‍රික් පදනම මත එම අවස්ථාව අහිමි වන සිසුන්ට මුදල් ගෙවා ඇතුළත් වීමට අවස්ථාව ලබා දීම අසාධාරණයක් නොවන බවය.
එම යෝජනාව වැදගත් යැයි ද විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩල සමග සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් මතයක් ඇති කිරීම වැදගත් යැයි ද සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එරාන් වික්‍රමරත්න ද සඳහන් කර තිබේ.