ආණ්ඩුව වර්ජනයට මුහුණ දෙන්න සූදානම්…! වර්ජකයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා..!

March 14, 2023 at 2:14 pm | by emanisa.lk

අත්‍යාවශ්‍ය සේවා ලෙස නම්කර ඇති රාජ්‍ය සේවාවන්හි නිරත වන සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතවීම හරහා රටේ පොදු නීතිය කඩකළහොත් ඉදිරියේදී නීතිය අකුරටම ක්‍රියාත්මක කෙරෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශයක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

“ගිය සුමානෙත් මතක ඇති මුළු රටම නතර වෙනවා, පාසල් නතරවෙනවා, රෝහල් නතර වෙනවා, බස් නතර වෙනවා, දුම්රිය නතර වෙනවා, අඛණ්ඩව සතියක් කරනවා කියලා මාර්තු මාසයේ පටන් ගත්තා. එහෙම වුණේ නෑ. ඒ නිසා මේ රජය ඉතාම අමාරුවෙන් පැය 12ක් විදුලිය කපමින් තිබුණු රටේ විදුලිය කැපීම නවත්වලා තියෙනවා.

දවස් ගණනක් තමන්ගේ මෝටර් රථය ඇතුළට වෙලා පෝළිමේ ඉඳලා ඉන්ධන ලබාගැනීම සඳහා ඉඳලා පොළිම්වල මිනිසුන් ජනතාව මැරිලා වැටෙන තත්ත්වයක් තිබිලා දැන් කිසිදු පෝළිමක් නැතුව ඛනිජ තෙල් ලබාගන්නවා. ගෑස් සිලින්ඩරයක් අරගෙන තැනින් තැනට ගිහිල්ලා ගෑස් හොයමින් ඇවිදින්නේ නෑ.

බොහොම අමාරුවෙන් ජනාධිපතිතුමා විසින් මේ අභියෝගය භාර අරගෙන ක්‍රමක්‍රමයෙන් එය ලිහාගැනීම සඳහා අවශ්‍ය සුබදායී දිශානතියකට ගමන්කරමින් සිටිනවා. එහි කූඨප්‍රාප්තිය මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය 20 වනදා රැස්වෙලා අපිට යම්කිසි දිගුකළ අරමුදල් පහසුකමක් දීලා ගෙවුම් ශේෂයේ තියෙන අර්බුදය විසඳා ගැනීම සඳහා අනුමැතියක් ලබ දෙන්න සූදානමින් සිටිනවා.

එය කඩාකප්පල් කිරීම සඳහා ඉඩ නොදෙන්න ඕන නිසා රජය විසින් ජන ජීවිතය, දරුවන්ගේ පාසල් අධ්‍යාපනය, මේ රටේ එදිනෙදා රාජකාරී කටයුතු කරන අය.කුලී වැඩ කරලා, ස්වයං රැකියාවල නිරතවන අය. මේ සියලුදෙනාගේ යහපැවැත්ම සඳහා. ඒ අඛණ්ඩව රාජ්‍ය සේවය පවත්වාගෙන යාම සඳහා මේවා අත්‍යාවශ්‍ය සේවා ලෙස ගැසට් නිවේදනයක් මගින් නිවේදනය කරලා තියෙනවා.
ප්‍රවාහනය, වරාය, නැව්තොට, ගමනාගමනය, තැපල්, විදුලි මේ සියල්ල අත්‍යාවශ්‍ය සේවාවන් බවට පරිවර්තනය කරලා තියෙනවා. රටේ පොදු නීතිය කඩකළොත් ඒ සඳහා ගන්න ක්‍රියාමාර්ග මොනවාද කියන එක නීතිය කඩකළාට පස්සේ තමයි ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබන්නේ. නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න කියන එක තමයි ගැසට් නිවේදනයෙන් කියලා තියෙන්නේ. “

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස