ලංකාවේ අර්බුදයට හේතුව අඩු බදු අය කිරීමයි…! නව බදු ප්‍රතිපත්තියෙන් එය නිවැරදි කරලා…! – IMF…

March 3, 2023 at 9:30 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට මුල් වූ හේතු ගණනාවක් තිබෙන බවත් රජයේ ආදායම් එකතු කිරීම් මගින් වියදම් අවශ්‍යතා සපුරාලීමට රජයට ඇති නොහැකියාව ඉන් එක් හේතුවක් බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය පවසයි.

එම අසමතුලිතතාව නිවැරදි කිරීම සඳහා ශ්‍රී ලංකාවට බදු ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට මෙහෙයුම් ප්‍රධානී මසහිරෝ නොසාකි නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

බාහිර ණය හිමියන් මෙම අසමතුලිතතාව නිවැරදි කිරීම සඳහා මූල්‍ය පහසුකම් සැපයීමට සුදානම් නොමැති බව ඔවුන් පෙන්වා දී ඇත. පුද්ගලික අදායම් බදු සඳහා ශ්‍රී ලංකා රජය හඳුන්වා දී ඇති නව බදු අනුපාත මෙම අරමුණ ඉටු කරගැනීමේදී සහාය වන බව එම නිවේදනයේ දැක්වේ. එසේ ම මෙම බදු ප්‍රතිසංස්කරණ ණය හිමියන්ගේ විශ්වාසය නැවත ඇති කිරීමට උපකාරී වන බව ද එහි සඳහන් වේ.

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන බදු ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති බදු අනුපාත ජාත්‍යන්තරය සමඟ සංසන්දනය කරන විට එය ජාත්‍යන්තර බදු අනුපාත සමඟ ද අනුකූල වන බව එම නිවේදනයේ දැක්වේ.

2021 වසරේ දී දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයට බදු ආදායම සියයට 7.3ක් පමණක් වන අතර, ලෝකයේ අඩුම මූල්‍ය ආදායම එකතු කරන රටවල් අතර ශ්‍රී ලංකාව ද සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය පෙන්වා දී ඇත.

අත්‍යාවශ්‍ය වියදම් සඳහා රජයට අරමුදල් සොයා ගත හැක්කේ සුදුසු බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙන් පමණක් බව එම නිවේදනයේ දැක්වේ. නමුත් දිළිඳු හා වඩාත්ම අවදානමට ලක්විය හැකි පාර්ශ්ව ආරක්ෂා කරමින් බදු අයකරගැනීම් ආර්ථික වර්ධනයට හිතකර ආකාරයෙන් සිදු කළ යුතු බව මසහිරෝ නොසාකි සහ පීටර් බෘවර් පෙන්වා දී ඇත.

එසේම රජයේ වියදම් සඳහා අරමුදල් සොයා ගැනීමට බදු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී දැරිය හැකි පුද්ගලයන්ගේ ප්‍රමාණවත් දායකත්වයක් ලබා ගැනීම ද වැදගත් බව ඔවුන් ප්‍රකාශ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *