රනිල්ගේ ආණ්ඩුව බිඳලා කබලෙන් ළිපට වැටෙන්න බෑ..! – විග්නේශ්වරන්…

February 24, 2023 at 1:43 pm | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව බිඳ නොවැටිය යුතු බව තමිල් මක්කල් තේසීය කූට්ටනි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි සී.වී. විග්නේශ්වරන් පවසයි.

ඊළඟට පත්වන ආණ්ඩුව මීට වැඩි විනාශකාරි එකක් වනු ඇති බැවින් වත්මන් ජනාධිපතිවරයාගේ ආණ්ඩුව බිඳ නොවැටිය යුතු යැයි ඔහු කීය.

ඔහු මේ බව පැවසුවේ ඉකුත් දා (22) යාපනයේ දී පැවැත්වූ මාධ්‍ය හමුවේදී ය.

“ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව බිඳවැටීමට අවශ්‍ය අවකාශය සකස් කරනු ලැබුවහොත් මීළඟට පත්වන ආණ්ඩුවේ ස්වරූපය කවරාකාරවනු ඇද්දැයි අප දැනගත යුතු වෙනවා. විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ බලයෙන් ඉවත් කරනු ලැබුවහොත් මීළඟට බලයට පත්වන පුද්ගලයාගේ හැසිරීම පිළිබඳ අවබෝධයක් අපට තිබිය යුතුයි.

රනිල් වික්‍රමසිංහ රට පාලනය කළ මෙම කාලය ඇතුළත රටේ යම්කිසි සාමාකාමී වතාවරණයක් ඇති කර තිබෙනවා. නමුත් ඔහු සිදු කරනු ලබන යම් යම් ක්‍රියාකාරකම් දෙමළ ජනතාව වන අපට යම් අහිතකර බලපෑම් ඇති කර තිබෙනවා.

නමුත් එසේ වූ පමණින් මොහුගේ ආණ්ඩු කාලයෙන් පසුව බලයට පත්වන පුද්ගලයා ඉතාමත් විනාශකාරි අයෙක් වනු ඇද්දැයි කියා අපි දන්නේ නැහැ. අපි ඒ පිළිබඳ සිතන්න අවශ්‍යයි. මම ජනාධිපතිවරයා සම්බන්ධයෙන් මධ්‍යස්ථ මතයක සිට කටයුතු කරන්නේ ඒ නිසයි.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ ඉදිරි තීරණ සම්බන්ධයෙන් පක්ෂයක් වශයෙන් මම තීන්දු තීරණ ගන්නේ අපගේ අනෙකුත් පක්ෂ හා සාකච්ඡා කිරීමෙන් පසුවයි. පාර්ලිමේන්තුවේ පැවති පසුගිය ඡන්දය අවස්ථාවේ ඉලංගෙයි තමිල් අරසු කච්චි සභාවේ සිටියේ නැහැ. ඡන්දය ලබාදුන්නේ නැහැ. ගජෙන්ද්‍ර කුමාර් පොන්නම්බලම් එයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා. මම මගේ ඡන්දය අවලංගු වන ආකාරයට සලකුණු කළා.

නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව බලයෙන් පහකිරීමට මම කලබල වන්නේ නැහැ. එයට හේතුව මේ ආණ්ඩුවෙන් පසුව පත්වන ආණ්ඩුව මීට වැඩි විනාශකාරි ආණ්ඩුවක්වීමට පුළුවන්. එවැනි විනාශකාරි ආණ්ඩුවක් බලයට පත්වුවහොත් රටේ ආර්ථිකය මීට වැඩි අර්බුදයකට ලක්වන්නට පුළුවන්. එවිට රටේ ජනතාවට මීට වැඩි දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වෙනවා.

වත්මන් ජනාධිපතිවරයාට සහයෝගය ලබා දෙමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ වගකීමක් අපට තිබෙනවා. පවතින සිංහල ආණ්ඩුවෙන් අපට කිසිවක් ලැබෙන්නේ නැති බව ඇත්ත. නමුත් සෑම අවස්ථාවකදී ම ආණ්ඩුවට විරුද්ධව කටයුතු කිරීමෙනුත් අපට කිසිවක් ලැබෙන්නේ නැහැ. මේ සෑම අවස්ථාවකදී ම ඉතා බුද්ධිමත්ව සිතා තීරණ ගත යුතුය යන්න මගේ මතයයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *