ළමා නිවාසයේ ළමුන්ට අතවර කළ විහාරාධිපති භික්ෂුව අත්අඩංගුවට..!

January 12, 2023 at 9:59 am | by emanisa.lk

රන්මුතුගල ළමා නිවාසයේ පිරිමි ළමයින්ට ලිංගික අතවර කරන ලදැයි කඩවත, රන්මුතුගල, පුණ්‍යාලංකාර විහාරයේ විහාරාධිපති කැලණියේ සුධම්ම හිමි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් විසින් ඊයේ (11) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

රන්මුතුගල ළමා නිවාසයේ සිටි වයස අවුරුදු 14ක සහ 17ක පිරිමි ළමුන් දෙදෙනකුට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් පිළිබඳව ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකාර හිමියන් විහාරස්ථානයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර විහාරාධිපති හිමියන්ට ලිංගික කටයුතු සඳහා ළමා නිවාසයේ කුඩා දරුවන් සපයා දී ඇත්තේ එම ළමා නිවාසයේම වැඩිහිටි ළමුන් විසින් බව ද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි, එම අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ අනාවරණය ක‍ෙළ්ය.

ලිංගික කටයුතු සඳහා තමන් වෙත කුඩා ළමුන් සපයන වැඩිහිටි ළමුන්ට රුපියල් 1000 බැගින් සැකකාර හිමියන් දී තිබෙන බවත්, ලිංගික අතවරයට ලක් වූ ළමුන්ට රුපියල් 500 බැගින් දී තිබෙන බවත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

ඊට අමතරව තම විහාරස්ථානය වෙත ලිංගික කටයුතු සඳහා කුඩා ළමුන් සපයන ලද වැඩිහිටි ළමුන්ට සැකකාර හිමියන් නවීන පන්නයේ ජංගම දුරකථන දී තිබෙන බව ද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අනාවරණය කරගෙන තිබේ. තමා විසින් එවැනි ලිංගික අපයෝජන ක්‍රියාවක් කළ බවට සැකකාර හිමියන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් හමුවේ සහ කොළඹ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ දී පිළිගෙන තිබෙන ඇත.

සැකකාර හිමියන් රුපියල් ලක්ෂ 3ක ශරීර ඇප 2ක් මත මුදාහරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කෝමින්ද පෙරේරා නියෝග කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *