මේ අවස්ථාවේ දේශපාලනඥයින් මැතිවරණ ඉල්ලන්නේ සිය පක්ෂය තරකර ගැනීමට බව පැවිදි හඬ සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.
“ජනතාව 69 ලක්ෂයක් ගෝඨාභය රාජපක්ෂට ඡන්දෙ දුන්නේ රට ආගාධයෙන් ගොඩගන්න. නමුත් කාගේ හෝ වරදින් එතුමාට ගෙදර යන්න වුණා. ඒ අවස්ථාවේ රට ගොඩගන්න ඉදිරිපත් වුණේ රනිල් වික්‍රමසිංහ විතරයි.
අභියෝගය භාරගත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ක්‍රමයෙන් රට යථා තත්ත්වයට පත් කරමින් තිබෙනවා. එතුමාට තව කාලයක් දිය යුතුයි, රට සාමාන්‍ය තත්ත්වයට පත් කරන්න.
නමුත් විපක්ෂයේ දේශපාලනඥයින් එතුමාට ඒ සඳහා උදව් කරනවා අපි දකින්නේ නෑ. ඔවුන් කියන්නේ අමාරුවෙන් දුවන රටේ ඡන්දයක් තියන්න කියලා. හිස් වෙච්චි භාණ්ඩාගාරේ සුළු මුදලක් හෝ ඉතිරි වී ඇත්නම් ඒකත් වියදම් වෙන එක විතරයි ඡන්දෙන් වෙන්නේ.
මේ වෙලාවේ ප්‍රමුඛතාව දෙන්න ඕන ගොවියාට පෝර ටික දෙන්න. දරුවන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් දෙන්න. වැඩි වෙන දුප්පත්කම පාලනය කරන්න. නමුත් දේශපාලකයින් ඒ සියල්ල පැත්තකින් තියලා තමන්ගේ පක්ෂේ තරකර ගන්න මැතිවරණයක් ඉල්ලනවා.
මේ වෙලාවේ මැතිවරණ ඉල්ලන කිසිම කෙනෙක් මේ රට ගැන ජනතාව ගැන හිතන්නේ නෑ. රට ගැන හිතන කිසිම කෙනෙක් මේ වෙලාවේ ඡන්දේ ඉල්ලන්නේ නෑ. රට තියෙන්නේ මැතිවරණ තියන්න පුළුවන් තත්ත්වෙක නෙමෙයි.”
මත්තේගොඩ බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති උත්සව අවස්ථාවක් අමතමින් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ මේ බව පැවසූහ.