ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විදේශ ආයෝජකයන් සඳහා විකිණීමට ගෙන ඇති තීරණය අයවැය යෝජනාවෙන් වහාම ඉවත් කර ගන්නා ලෙස ටෙලිකොම් වෘත්තීය සමිති, ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.
ඒ අනුව ලයිකා මොබයිල් සහ අදානි යන සමාගම් සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විකිණීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව රට පුරා අද (23) සිට දැවැන්ත විරෝධතා මාලාවක් පවත්වන බව සියලු විදුලි සංදේශ සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප ලේකම් ජගත් ගුරුසිංහ පවසයි.
ඒ, රජයට ආදායම් ලබා දෙන ටෙලිකොම් ආයතනය විකිණීම වහා නවතනු මැයෙන් ටෙලිකොම් වෘත්තීය සමිති නියෝජිතයන් කොළඹ ගුරු මැදුර ශාලාවේ දී ඊයේ (21) මාධ්‍ය හමුවක් පවත්වමිනි.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය යනු රත්තරන් බිජු දමන කිකිළියක් බවත් වසර පහකට වරක් පත්වන එය සෑම රජයකටම ලබාදෙන දෑවැද්ද බවත් ලේකම්වරයා මෙහිදී කීය.
එම නිසා මෙවැනි දැවැන්ත ලෙස ලාබ ලබන ආයතනයක් කුණු කොල්ලයට විකුණා දැමීම හරහා මෙරට ජාතික ආරක්ෂාවට පවා දැඩි තර්ජනයක් එල්ල වන බව ද හෙතෙම කීවේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහට බලය රැක ගැනීම සඳහා මහා භාණ්ඩාගාරයට මුදල් අවශ්‍ය බවත් ඒ සඳහා ඔහු සිදුකරනු ලබන්නේ මෙරට ආදායම් ලබන ආයතන විකුණා දමා මහා භාණ්ඩාගාරය තරකර ගැනීම බවත් ලේකම්වරයා සඳහන් කළේය.
මේ අතර ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විදේශ ආයෝජකයන් සඳහා විකිණීමට ගෙන ඇති තීරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන වෘත්තීය සමිතිද විරෝධය දැක්වූහ.
එමෙන්ම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ගත වූ මාස නවයේදී පමණක් රජයට බදු ගෙවීමෙන් පසු ලබා ගෙන ඇති ශුද්ධ ලාබය රුපියල් බිලියන නවදහස ඉක්මවන බව පැවසූ ලේකම්වරයා මෙලෙස ලාබ ලබන ආයතනයක් වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා පවසන පරිදි මහ ජනතාවට බරක් වන්නේ කෙසේද යන්න ගැටලුවක් බව ද පැවැසීය.