කැබිතිගොල්ලෑව නොසන්සුන්..! පොලිස් සැරයන් මරුට.. භික්ෂුවක් අත්අඩංගුවට..!

November 1, 2022 at 7:15 am | by emanisa.lk

අනුරාධපුර, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඇතිවූ උණුසුම් තත්ත්වයක් පාලනය කිරීම සඳහා පොලිසිය මැදිහත් වීමත් සමග සිදු වූ පහර දීමකින් පොලිස් සැරයන්වරයෙක් මරුමුවට පත්ව ඇත.

පොලීසිය පැවසුවේ ඊයේ (31) රාත්‍රී කැබිතිගොල්ලෑව රඹකැපූවැව ප්‍රදේශයේ වන අලියෙකු පහරදීමකින් කාන්තාවක් මියගොස් ඇති බවට ලැබුණු තොරතුරක් මත කැබිතිගොල්ලෑව පොලීසිය එම ස්ථානයට යමින් සිටි අවස්ථාවේ එම කලහකාරී තත්ත්වය ඇති වූ බවය.

එම ප්‍රදේශයේ හිමිනමක් ඇතුළු පුද්ගලයින් සියයක පමණ පිරිසක් විසින් එම අවස්ථාවේ කැබිතිගොල්ලෑව – පදවිය මාර්ගය රඹකැපූවැව ප්‍රදේශයෙන් හරස් කර තිබේ.

අනතුරුව එම පිරිස පොලිස් නිලධාරීන් වෙත ගල් මුඟුරුවලින් පහර දී ඇති අතරපිරිස පාලනය කිරීම සඳහා පොලීසිය අහසට වෙඩි තබා තිබේ.

එහිදී පුද්ගලයෙකු එල්ල කළ පොලු පහරකින් පොලිස් සැරයන්වරයෙකුට බරපතළ තුවාල සිදුවී ඇති අතර ඔහු කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කර පසුව අනුරාධපුර රෝහල වෙත මාරුකර යැවීමේදී මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ කැබිතිගොල්ලෑව පොලීසියට අනුයුක්තව සේවය කළ වාරියපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි අයෙකු බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට හිමිනමක් ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස