රට ණය ගෙවීම නතර කළේ ඒ සඳහා විදේශ සංචිත නොතිබූ නිසා බවත් එය මහ බැංකුව, ජනාධිපතිවරයා සහ හර්ෂ ද සිල්වා සමග ද සාකච්ඡා කර ගත් තීන්දුවක් බවත් හිටපු මුදල් ඇමැති අලී සබ්රි පවසයි.
තම දරුවන්ට කන්න ටික බෙහෙත් ටික නැත්නම් ණය ගෙවන්නේ දැයි ප්‍රශ්න කළ ඇමැතිවරයා, ඒ අවස්ථාවේ කළ යුතු හොඳ ම දේ මහ බැංකුව තමන්ට යෝජනා කළ බවත් අදාළ තීන්දුව වෙනුවෙන් තමා පෙනී සිටින බවත් අවධාරණය කරයි.
එදා ගත් එම තීන්දුවේ ප්‍රතිඵල මේ වන විට රටට ලැබී ඇති බව ප්‍රකාශ කළ හිටපු ඇමැති අලී සබ්රි අදාළ තීන්දුව නිසා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ගෙදර යැවීමට උත්සාහ කරන්නේ නම් ඒ වෙනුවට තමන් යාමට සූදානම් බව ද ප්‍රකාශ කළේය.
ඒ අවස්ථාවේ මුදල් අමාත්‍යවරයා ලෙස අදාළ තීන්දුවේ වගකීම තමන් ගන්නා බවත් නිර්භීත නිලධාරීන් පසුපස ගොස් දඩයම් කිරීමට සූදානම් නොවන ලෙසත් හෙතෙම සඳහන් කළේය.
ඊයේ (01) වජිර අබේවර්ධන, ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු පිරිසක් මහ බැංකුවේ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය පිළිබඳ මතු කළ විවේචනයට පිළිතුරු ලෙස හිටපු මුදල් ඇමැතිවරයා අද (01) පාර්ලිමේන්තුව අමතමින් මේ බව ප්‍රකාශ කළේය.