ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ඇත්තේ අපායේ ඉන්ටර්වල් එකක බවත් ඒ අපායේ ඉන්ටර්වල් එක අපි ඉක්මනින් අවසන් කරන බවත් ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
නුගේගොඩ පැවති රැලිය අමතමින් ටිල්වින් සිල්වා මෙසේ ද කීය.
“ගෝඨාභය ගිහින් රනිල් ආවාට පස්සේ අරගලයට යම් විරාමයක් ආවා. ඒ විරාමය තුළ පොලිසිය පොලු ඔසවන්න පටන්ගෙන තිබෙනවා. මර්දනය දියත් කරන්න පටන්ගෙන තිබෙනවා. ඒ අයට අපිට කියන්න තිබෙන්නේ ඔබ අපායේ ඉන්ටර්වල් එකක ඉන්න බවයි. වැඩි වෙලාවක් මේ ඉන්ටර්වල් එක තියෙන්නේ නැහැ. ජාතික ජන බලවේගයේ නායකත්වයෙන් මේ ඉන්ටර්වල් එක ඉතා ඉක්මනින් අවසන් කර ජනතාවාදී පාලනයක් පිහිටුවනවා.
රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දිහා බලාගෙන සින්දු කිය කියා ඉන්නවා. ඒ නිසා උත්තරයක් නැහැ. මේ ප්‍රශ්න විසඳන්න මොකක්වත් ක්‍රමයක් නැහැ. සැලැස්මක් නැහැ. රාජපක්ෂවරුන්ගේ ඡන්දෙන් ජනාධිපති වෙච්ච රනිල් වික්‍රමසිංහ හදනවා මේ අවුරුදු තුන ම අරගෙන යන්න. මේ හොරු රැළත් එක්ක, මේ අපරාධකාරයෝ එක්ක, මේ ප්‍රශ්න මෙහෙම්මම තියෙද්දි තව අවුරුදු තුනක් පාර්ලිමේන්තුව අරගෙන යනකොට මොකද සිද්ධ වෙන්නේ? අපි අහනවා ඔබෙන් මේ ප්‍රශ්න ටිකත් එක්ක තව අවුරුදු තුනක් බලාගෙන ඉන්න පුළුවන් ද? බැහැ.
අපි ලෑස්ති ද ඒකට? නැහැ. තව අවුරුදු තුනක් නෙවෙයි තව මාස තුනක් හතරක්වත් බලන් ඉන්න බැහැ. අපි ලෑස්ති නැහැ. ඒ නිසා අපි සූදානම් වෙනවා හරියට කෙළින් රනිල්ට කියන්න. දැන් බඩුමුට්ටු අකුළ ගෙන කණ්ඩායමත් එක්ක බැහැලා යන්න. පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ඡන්දයක් තියලා ජනතාවට ජනවරමකට අවස්ථාව දෙන්න කියලා අපි කියනවා.”