රාජපක්ෂ සෙවණැලි ආණ්ඩුවට එරෙහිව මුළු රට ම නැඟී සිටින දිනය වැඩි ඈතක නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ රැඳී සිටි අරගලකරුවන් පලවා හැරීමට ආරක්ෂක අංශව එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පවසා සිටින්නේ, “රාජපක්ෂලාගේ පොහොට්ටු ආණ්ඩුවට සුපුරුදු ම්ලේච්ඡත්වය සහ නිල ප්රචණ්ඩත්වය යොදා ගෙන තිබෙනවා.
වර්තමාන ‘රාජපක්ෂ සෙවණැලි ආණ්ඩුව’ ඊයේ අලුයම් කාලයේදී ගෝල්ෆේස් හි සාමකාමී අරගලකරුවන්ට එරෙහිව බියගුලු ප්රචණ්ඩ ප්‍රහාරයක් එල්ල කොට තිබෙනවා. එය වාර්තා කිරීමට පැමිණි දේශීය සහ විදේශීය මාධ්‍යවේදීන් රැසකට ද, ආබාධිත රණවිරුවන්ට ද එම අමානුෂික ප්‍රහාරයට මුහුණ දීමට සිදු වූණා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය ම්ලේච්ඡ පන්නයේ නිල ප්රචණ්ඩත්වයක්”
නව ජනාධිපතිවරයා දිවුරුම් දී දිනයක් යන්නට මත්තෙන් මෙම අමානුෂික ප්‍රහාරය එල්ල කොට ඇති අතර ඔහු එයින් ගම්‍ය කිරීමට උත්සාහ කරනුයේ ඔහුගේ ඉදිරි පාලන තන්ත්රයේ ස්වභාවය නම් ඔහුට සිහිපත් කොට දිය යුත්තේ මෙවැනි ම්ලේච්ඡතාවන්ට එහා ගිය බලගතු ආණ්ඩු ද ජන බලයෙන් ගෙදර යවා ඇති බවයි.
අදාළ පුරවැසි අරගලයේ අරගලකරුවන් අත්පත් කරගෙන තිබූ සියලු ස්ථාන ආපසු ලබා දෙමින් සිටියදීත්, ඒ අතුරතුර අලුයම් කාලයේ කඩා පැන ආරක්ෂක අංශ විසින් ‘ඉහළ අණ අනුව’ මේ බියගුලු ප්‍රහාරය එල්ල කොට ඇත. තමන්ට සිතැති රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැවීම පිළිබඳව හටගත් වියරුවකින් අදාළ පහරදීමට අණ දුන්නා ද යන්න අප නොදන්නා නමුත් එය එසේ නොවේ යැයි සිතන්නට කිසිදු හේතුවක් නැහැ.
රටේ ජනතාවට අරගල කිරීමේත් විරෝධතා දැක්වීමේත් ප්රජාතන්ත්රවාදී අයිතියට අපි හැම විටම ගරු කරනවා. රාජ්‍ය දේපොළ සහ පොදු දේපොළවලට හානි නොකර, ප්රචණ්ඩත්වය වෙනුවට ශිෂ්ටත්වය තුළ කරන අරගල වෙනුවෙන් අපි නිරන්තරයෙන් පෙනී සිටිනවා.
එක් අතකින් වර්තමාන ජනාධිපතිවරයාට බලයට පත් වන්නට මාවත සැකසෙන්නෙ ගෝල්ෆේස් ඇතුළු මේ රටේ ජනතාව සිදු කළ අරගලයේ ප්‍රතිඵලයක් ලෙසයි. අදාළ අරගලය ඔහුට ජනාධිපති වීමට කිසිසේත්ම අනුබල දෙන්නක් නොවුවත් ඒ හරහා ඔහු බලය ලබා ගත්තේය. තමන් ජනාධිපති ධූරයේ දිවුරුම් දී පැය 12ක් යන්නටත් මත්තෙන් ජනාධිපතිවරයාට එය අමතක වීම කනගාටුවට කරුණක් වන අතර, ඇතැම් විට රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට අදාළ ජන අරගලය හේතු වීම පිළිබඳව ඔහු තුළ කෝපයක් ඇතිවා විය හැක.
රටක් ලෙස ශිෂ්ඨ සම්පන්නව නැගී සිටීමට තිබූ සෑම අවස්ථාවක්ම පසුගිය රාජපක්ෂ ආණ්ඩුව විනාශ කර දැමූ අතර වර්තමාන ‘රාජපක්ෂ සෙවණැලි ආණ්ඩුව’ තුළින් ද සිදුවන්නට ආරම්භ වී ඇත්තේ එයයි. වෙනසකට ඇත්තේ, එය රාජපක්ෂ වියරුවටත් වඩා උග්‍ර වියරුවක් බවට පත්ව තිබීමය.
රට වැටී ඇති බරපතළ අගාධයේ තරම තේරුම් ගන්නවා වෙනුවට තමන්ගේ බල න්‍යාය පත්‍රය පමණක් අරමුණු කොටගෙන කටයුතු කරන මේ ‘රාජපක්ෂ සෙවනණැලි ආණ්ඩුව’ ජනතාවට විරෝධතා දැක්වීමට ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කොට ඇති අතර, මාධ්‍යවේදීන් සතු නිදහසද අතිශයින්ම අමානුෂික ලෙස උල්ලංඝනය කොට ඇත. නිරායුධ ජනතාවට, ආබාධිත සෙබළුන්ට, සිවිල් පුරවැසියන්ට සිය අවි බලය යොදාගෙන පහර දීමට කටයුතු කළ නිල හා නොනිල සියලු දෙනාට එරෙහිව පරීක්ෂණ සිදුවිය යුතු අතර මේ මිලේච්ඡ ප්‍රහාරයට අණ දුන් සියලු දෙනා පිළිබඳව වහාම පරීක්ෂණ පැවැත්විය යුතුය.
මෙම නින්දා සහගත බියගුලු ප්‍රහාරය පිළිබඳව අප දැඩි කම්පනයට පත්වන අතර,එම ප්‍රහාරයටම උරුම පිළිකුලෙන් යුතුව අපි එය හෙළා දකිමු. අපේ රට ගෝත්‍රික තැනකට තල්ලු කිරීමට උත්සාහ කරන ‘රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුවට එරෙහිව’මුළු රටම නැගී සිටින දිනය වැඩි ඈතක නොවන බව අපි ආණ්ඩුවට අවධාරණය කරමු!