විදේශ විනිමය මෙරටට ගලා ඒමේ මාර්ගයක් ලෙස රජය විසින් යෝජනා කරන ලද විදේශිකයන් සඳහා දිගුකාලීන වීසා නිකුත් කිරීමේ වැඩසටහන ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර ඇත.
“ගෝල්ඩන් පැරඩයිස් වීසා” යනුවෙන් නම් කර ඇති මෙම වැඩසටහන මගින් විදේශිකයන්ට අන්තර් ජාලය ඔස්සේ වීසා නිකුත් කිරීම සිදු කෙරේ.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව පිළිගත් වාණිජ බැංකුවක අවම වශයෙන් ඩොලර් ලක්ෂයක් තැන්පත් කරන විදේශිකයකුට වසර 10ක කාලයක් සඳහා ශ්‍රී ලංකාවේ නේවාසික වීසා නිකුත් කරනු ඇත. අදාළ ගිණුම් හිමියට මෙන් ම ඔහුගේ පවුලේ අයට ද මෙම පහසුකම හිමි වෙයි.
මෙම තැන්පතුව සිදුකරන විදේශිකයන්ට පළමු වසරින් අනතුරුව ඉන් ඩොලර් 50000ක් ආපසු ගැනීමේ හැකියාව පවතින නමුත් ඉතිරි ඩොලර් 50000 අවම ශේෂයක් ලෙස අදාළ ගිණුමේ අඛණ්ඩව පවත්වාගත යුතුය.
ඊට අමතරව ශ්‍රී ලංකාවේ සහාධිපත්‍ය දේපොළ (සුඛෝපභෝගී මහල් නිවාස) වෙනුවෙන් අවම වශයෙන් ඩොලර් 75000ක් හෝ ඊට වැඩි මුදලක් වැය කරන විදේශිකයන්ටද වසර 05 සිට 10 දක්වා නේවාසික වීසා නිකුත් කෙරෙන බවද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.