ඉන්දියාව දෙස බලන්න….! අවදානමට පෙර සූදානම වැදගත්….! වහාම ඔක්සිජන් තොග රැස් කර තබන්න…!

April 27, 2021 at 8:01 am | by emanisa.lk

ඔක්සිජන් හිඟවීම හේතුවෙන් ඉන්දියාවේ මතුව ඇති අවාසනාවන්ත තත්ත්වය මෙරට ඇති නොවීමට නම් අවශ්‍ය පරිදි ඔක්සිජන් තොග රැස් කර තබා ගැනීමට අදාළ අංශ කටයුතු කළ යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා පවසයි.

කොරෝනා ව්‍යාප්තියේ වත්මන් අවදානමට මුහුණ දීමට නම් පෙර සූදානම ඉතා වැදගත් බවත් එහෙයින් අවශ්‍ය ඔක්සිජන් සංචිත නිසි පරිදි පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය බවත් පැවසූ හෙතෙම එසේම දැඩි සත්කාර ඇඳන් ප‍්‍රමාණයේ ධාරිතාව තව තවත් වහා ඉහළ නැංවිය යුතු බව ද අවධාරණය කළේය.

මේ සඳහා කටයුතු කිරීමට තම සංගමයේ මධ්‍යම කාරක සභිකයකු වෛද්‍ය සැපයුම් අංශය සමග සම්බන්ධ කර ඇති බවත්, කොරෝනා තෙවන රැල්ල පාලනය කර ගැනීම තර්ජනයක් වී ඇතත් ජනතාව නිසි පරිදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කර සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්නේ නම් එම තර්ජන ජය ගැනීම අපහසු නොවනු ඇති බවත් හෙතෙම පැවසීය.

එසේම විදේශීය සංචාරකයන් මෙරටට ගෙන්වීම නැවත සමාලෝචනය කළ යුතු බව සඳහන් කළ වෛද්‍ය නවීන් ද සොයිසා, එම ක‍්‍රියාවලිය ඇතැම් ව්‍යාපාරිකයන් ලාභ ඉපයීමේ මාර්ගයක් කර ගනිමින් රටේ තත්ත්වය අනතුරට පත් කර ඇති බවට ද චෝදනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *