රට පුරා අවශ්‍ය තරම් තෙල් බෙදා හැර අවසන්…! – බල ශක්ති ඇමැති…

March 14, 2022 at 4:21 pm | by emanisa.lk

අද වන විට ඛනිජ තෙල් සංස්ථාවට පෙට්ට්‍රොල් සහ ඩිසල් රටට අවශ්‍ය ප්‍රමාණය තිබෙන බවත් විදුලි බල මණ්ඩලයට, බලාගාරවලට ඕන කරන තෙල් ප්‍රමාණයක් අද සපයා තිබෙන බවත් බල ශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසයි.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ රටේ ජනතාවට අවශ්‍ය කරන තෙල් තොග බෙදා හැරීමේ කටයුතු ද සිදු කර ඇති බවයි.

කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම අද (14) මේ බව සඳහන් කළේය.

“අද ප්‍රධානම මාතෘකාවක් වෙලා තිබෙන්නේ තෙල් මිල වැඩිවීමත්, විදුලිය විසන්ධි කිරීමත් පිළිබඳවයි.
තෙල් මිල වැඩි වීම මොන රජයක් තිබුණත් මේ අවස්ථාවේ වෙනස් කරන්න පුළුවන් වැඩක් නොවෙයි.

අපේ රටේ 2015 යහපාලන ආණ්ඩුව පිහිටුවන විට ආර්ථික අර්බුදයක් තිබුණේ නෑ. නමුත් ඒ ආණ්ඩුව ඇවිත් පාස්කු ඉරිදා ප්‍රහාරයත් එක්ක මේ රට ලොකු අර්බුදයකට පත් වුණා. සංචාරකයින් පැමිණිම නතර වුණා.

විදේශ ආධාර ලැබෙන එක නැති වුණා. ඊට අමතරව තෙල් සංස්ථාව සෘජුව තෙල් ගැනීමේ පිළිවෙත වෙනස් කළා. තෙල් සංස්ථාව ඛනිජ තෙල් ලබා ගත්තේ දින 190,180,85 ට දීර්ඝ කාලීන ණයවලටයි.

අපි ආණ්ඩුව පිහිටුවන අවස්ථාවේ පැවති ආණ්ඩුව ගත්ත තෙල් බිල් ගෙවන්න තිබුණා විශාල මුදලක්. දැන් මේ මොහොත වන විට ඒ මුදල් සියල්ලම අපිට දෙන්න සිදු වුණා. ඒ වගේම ලෝකයේ ඇති වෙච්ච ආර්ථික අර්බුදය නිසා දීර්ඝ කාලීන ණයට දෙන තෙල් දීම පැරණි සැපයුම්කරුවන් ඔක්කෝම ප්‍රතික්ෂේප කළා.

අපි ආණ්ඩුවක් හැටියට එයට බොහෝම අමාරුවෙන් මුහුණ දුන්නා. අද මේ මොහොත වන විට ඛනිජ තෙල් සංස්ථාවට පැට්ට්‍රොල් සහ ඩිසල් රටට අවශ්‍ය ප්‍රමාණය අපි ගාව තිබෙනවා. අද විදුලිබල මණ්ඩලයට, බලාගාරවලට ඕනකරන තෙල් ප්‍රමාණයක් සපයලා තිබෙනවා. රටේ ජනතාවට අවශ්‍යකරන තෙල් බෙදාහැරීමේ කටයුතු කරනවා.

අද දවස වන විට සියලු  ම බෙදුම්හල්වලට තෙල් ලබා දීමට කටයුතු කරලා තිබෙනවා. රජය පාඩු විඳගෙන තමයි ඩිසල් ලබා දෙන්නේ. ඩිසල් තමයි වැඩියෙන් පරිභෝජනය සිදුකරන්නේ. අපි රජයක් හැටියට මේ කටයුතු කරනකොට මහජනතාවට යම් යම් අපහසුකම් ඇතිවෙනවා. ඒවටත් අපි සහන දෙන ගමන් තමයි කටයුතු කරන්නේ.

දැන් රාජ්‍ය සේවය සඳහා රුපියල් 5000ක් පඩියට එකතු වෙනවා. විශ්‍රාමිකයින්ට ද රුපියල් 5000 ක් දෙනවා. දැන් අපි සාකච්ඡා කරන්නේ අර්ධරාජ්‍ය අංශයත් පුද්ගලික අංශයටත් සහනයක් ලබා දෙන්නේ කෙසේද කියලා.

අද විපක්ෂය විවේචනය කරනවා. නමුත් විපක්ෂයේ කවුරුත් විසඳුමක් දෙන්නේ නෑ. ඒ අය මේ සඳහා කිසිම විකල්පයක් කතා කරන්නේ නෑ. ඒ අය හැම තැනම බදු ගැහුව්වා. නමුත් අපේ ආණ්ඩුව පැමිණියාම කළේ ව්‍යාපාර ශක්තිමත් කරන්න බදු සහන දුන්නා. දැන් මේ ආර්ථික අහේනියත් එක්ක සමහර සමහර බදු ඇතුල් කරන්න වෙයි.

නමුත් එදා යහපාලන ආණ්ඩුව කාලයේ කොවිඩ් අර්බුදයක් තිබුණේ නෑ. ලෝකයේ විනිමය අර්බුදයක් තිබුණේ නෑ. නමුත් අද අපේ දක්ෂකම නිසා මිසක් සංචාරක ව්‍යාපාරයක් අද නැති වෙනවා. රට වහපු වෙලාවේ රජයේ විවිධ උපක්‍රම කරපු නිසා කර්මාන්ත පවත්වා ගෙන ගියා. එම නිසා ඇගලුම් කර්මාන්තයේ ලෝකයේ වැඩිම නිෂ්පාදන කරපු රට ලංකාවට බවට පත් වුණා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මොන ප්‍රශ්න තිබුණත් කොවිඩ් ප්‍රශ්නයට මුහුණ දිපු නිසා තමයි අද අපි මේ විදිහට රට යන්නේ. දැන් මහජනතාව තුළ කොවිඩ් වසංගතය පිළිබඳව බයක් නැත්තේ මේ ආණ්ඩුව ගත්ත වැඩපිළිවෙළ නිසයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස