පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූවන් ලෙස හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු වගකිවයුත්තන් නොවේ නම් සැබෑ වගකිවයුත්තන් වහාම අධිකරණය හමුවට කැඳවිය යුතු බව ජාතික ජන බලවේගයේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.
ප්‍රහාරයේදී ප්‍රධාන වශයෙන් වගකිව යුතු කණ්ඩායම් දෙකක් සිටින අතර ඉන් එක් කණ්ඩායමක් වන්නේ ඉතා පැහැදිලිව තොරතුරු ලබාදී තිබිය දී එම ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූ අය බවත් අනෙක් කණ්ඩායම වන්නේ එම ප්‍රහාරය සැලසුම් කළ පුද්ගලයන් හා ප්‍රහාරකයන් බවත් මන්ත්‍රිවරයා පැවසුවේය.
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු වීමට නම් මෙම කණ්ඩායම් දෙකට ම එක සේ නිසි දඬුවම් දිය යුතු නමුත් පෙරේදා (18) අධිකරණයේදී හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන පුද්ගලයන් තමන්ට පැවැරී තිබෙන වගකීම ඉටු කිරීමට අසමත් වූවන් මෙන් ම ප්‍රහාර වළක්වා ගැනීමට අසමත් වූවන්ගේ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබුණු අතර එසේ නම් කළ යුතු වන්නේ ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූ සැබෑ චූදිතයන් අධිකරණය හමුවට කැඳවීම බව ද අනුර දිසානායක පැවැසීය.
එමෙන් ම මෙම ප්‍රහාරය සැලසුම් කළ පුද්ගලයන් අධිකරණය හමුවට පැමිණ වීම කළ යුතු නමුත් ප්‍රහාරය සිදු වී අදට වසර තුනකට ආසන්න කාලයක් ගත වෙමින් තිබීම මෙන්ම ආණ්ඩුව බලයට පැමිණ වසර දෙකකට වැඩි කාලයක් ගත වී ඇති නමුත් ඒ ගැන සාධාරණීය පියවරක් ගෙන නොමැති බව ඉතා පැහැදිලි යැයි ද මන්ත්‍රිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.