මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ගේ ඉහමොළ රත්වෙයි…! ඉතිහාසය අලුතින් ලියවෙයි…! දෙමටගොඩ රුවන්ගේ කෝටි 79ක දේපළ රාජසන්තකයි…!

February 18, 2022 at 9:15 am | by emanisa.lk

පාතාල කල්ලි නායකයකු බව කියන දෙමටගොඩ චමින්දගේ වැඩිමහල් සොහොයුරා වන දෙමටගොඩ රුවන් නමැත්තාට අයත් රුපියල් කෝටි 79ක දේපළ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් රාජසන්තක කර ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගත් බව කියන මෙම දේපොළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙහිදී රාජසන්තක කළ දේපොළ අතර රුපියල් කෝටි 9ක් වටිනා අධි සුඛෝපභෝගී මෝටර් රථයක්, කෝටි 16ක් වටිනා ඉඩම් 3ක්, රුපියල් කෝටි 2ක් වටිනා රත්ත‍්‍රං කිලෝ එකහාමරක්, රුපියල් කෝටි නවයක ස්ථාවර තැන්පතු ඇතුළු තවත් දේපොළ ඇති බව පොලිසිය පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අයත් විශාල දේපොළ තොගයක් රාජසන්තක කළ මුල්ම අවස්ථාව මෙය බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මේ අතර දෙමටගොඩ රුවන්ට අයත් බව කියන සංචාරක හෝටල් කිහිපයක් ඇතුළු තවත් දේපොළ රැසක් රාජසන්තක කරීමට විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

දෙමටගොඩ රුවන් නමැත්තා 2017 වර්ෂයේ සිට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බව විමර්ශණවලින් හෙළි වී ඇත. දෙමටගොඩ රුවන්ගේ බාල සොහොයුරා වන දෙමටගොඩ චමින්ද භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වැරදිකරු වී මරණ දඬුවම නියම වී සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *