සම්බුදු සසුනෙහි සුවිශේෂ සිදුවීම් රැසක් සිදු වූ උතුම් නවම් පුර පසළොස්වක පොහොය අද (16)ට යෙදී තිබේ.
ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ සියලු භික්ෂූ සංඝයා රජගහ නුවර වේළුවනාරාමයට එක්රැස් කර පළමු සංඝ සම්මේලනයක් පවත්වන ලද්දේ අද වැනි නවම් පොහොය දිනයක දී ය.
තව ද බුදු රජාණන් වහන්සේ රජගහ නුවර වේලුවනාරාමයේ දී සැරියුත් සහ මුගලන් රහතුන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, තථාගතයන් වහන්සේ විසින් මහා සංඝයාට ඕවාද ප්‍රාතිමෝක්‍ෂය දේශනා කිරීම, බුදුන් වහන්සේ පිරිනිවනට මාස තුනකට ප්‍රථම ආයු සංස්කාරය අත්හැරීම ආදී ශාසන ඉතිහාසයේ වැදගත් කරුණු කිහිපයක් නිසා නවම්පුර පසළොස්වක පොහොය වැදගත් වේ.
සම්බුද්ධ ධර්මයෙහි මූලික දේශනා දෙකකි. එනම් “ඕවාද ප්‍රාතිමෝක්ෂ දේශනාව හා ආනා දේශනාවයි.” මෙහි “ඕවාද ප්‍රාතිමෝක්ෂ” යනුවෙන් හැඳින්වෙන්නේ යම්කිසි අවවාදයක් කිරීමත්, ස්වයං හික්මීමත්, ඉවසීම උතුම් සැපත බව හා සියලු අකුසල් නොකළයුතු බවත් යන්නයි.
එසේම “ආනා දේශනාව” යනුවෙන් හැඳින්වෙන්නේ අණ කිරීමත්, ශික්ෂාපද පැනවීමත් යන්නයි. මෙම දේශනාවන් විනය රැකගන්නට බෙහෙවින් වැදගත් විය. මෙහි “ඕවාද ප්‍රාතිමෝක්ෂ” දේශනාව නවම් පුන් පොහොය දින රජගහ නුවර වේළුවනාරාමයේ පැවැති සංඝ සම්මේලනයේ දී දේශනා කරන ලදී.