ගොවීන්ට වගා හානි වන්දි ගෙවන්න බිලියන 40ක් වෙන් කළා..! – මහින්දානන්ද…

January 25, 2022 at 11:52 am | by emanisa.lk

පසුගිය කන්නයේ දී වගා හානි නිසා බලපෑමට ලක්වූ ගොවීන්ට වන්දි ලබාදීමට රජය තීරණයක් ගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

“වී ගොවිතැනේ නියැලෙන ලක්ෂ 11කට ආසන්න වී ගොවියන් වෙනුවෙන් සුවිශේෂි තීන්දුවක් ඊයේ කැබිනට් මණ්ඩලය ගත්තා. ඒ තමයි 2020 මහ කන්නයේ හෙක්ටයාර් ලක්ෂ 8කට ආසන්න ප්‍රමාණයක් වී ගොවිතැනේ වගා කළ ගොවීන් සඳහා ඔවුන්ගේ අස්වැන්නේ යම් හානියක් සිදුවුණා නම් ඒ සඳහා වන්දි ලබා දෙන්න ඊයේ කැබිනට් මණ්ඩලය අනුමැති ලබාදුන්නා.

ඒ සඳහා බිලියන 40කට අධික මුදලක් රජය විසින් වෙන්කරනවා. මුදල් අමාත්‍යවරයා විසින් රුපියල් මිලියන 229ක සහන පැකේජයක් ලබාදුන්නා. රජයේ සේවකයින්ට, සමෘද්ධිලාභීන් ඇතුළු කේෂ්ත්‍ර ගණනාවකට ලබාදුන්නා. එයින් වී ගොවියන් වෙනුවෙන් මේ සහනාධාරය ලබාදෙන්න තීරණය කළා. ඒ අනුව පසුගිය කාලයේ ගොවීන් දැවැන්ත උද්ඝෝෂණ කළා හරිත කෘෂිකර්මානතයට නියැලීමත් එක්ක තමන්ගේ වගාවල හානි සිදුවුණා, පාඩු සිදුවුණා මෙයට වන්දි ලබාදෙන්න කියලා.

ඒත් දිගින් දිගටම මම කෘෂිකර්ම ඇමති ලෙස සහතිකයක් දුන්නා ගොවීන්ට ඔබ මේ වැඩසටහනට සම්බන්ධ වෙලා යම් වගා හානියක් වුණොත් ඒ සඳහා වන්දි ලබාදෙන්න අපි කටයුතු කරනවා කියලා. ඒ සහතිකය අපි මුල ඉඳලම ගොවීන්ට ලබාදුන්නා. ඒ අනුව මහ කන්නයේ අස්වැන්නේ අඩු පාඩුවක් සිදුවුණා. සියලුම ගොවීන් 1,049,000ක් හෙක්ටයාර් ලක්ෂ 8ක් වගාකරලා තිබුණා පහුගිය යල කන්නයේ. ඒ ගොවීන් සඳහා වන්දි ලබාදීමට අනුමැතිය ලබාදුන්නා. ඒ අනුව අපි මේ වනවිට ප්‍රාදේශීය මට්ටමින් ගොවීන්ගේ අස්වැන්න පිළිබඳ නිරීක්ෂණය කරමින් ඉන්නවා. එ් අනුව ඔවුන්ගේ අස්වැන්න කැපීමත් සමග ම ඔවුන්ට වෙලා තියෙන පාඩුව වෙනුවෙන් සෑම ගොවියෙකුටම වන්දි ලබාදෙන්න කටයුතු කරනවා.”

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස