හාල් නැත්නම් ජනතාව අල බතල කන්න හුරුවෙන්න ඕන…! මඤ්ඤොක්කා පිළිකාවලටත් හොඳයි…! – චමල්..

November 2, 2021 at 9:49 am | by emanisa.lk

ඉදිරියේ දී රටේ හාල් හිඟ වුවහොත් මඤ්ඤොක්කා, මුං, බතල කෑමට ජනතාවට හුරු වීමට සිදුවෙන බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ පවසයි.

අතීතයේ ගම්වල ජනතාව වැඩි වශයෙන් මඤ්ඤොක්කා වැනි දෑ ආහාරයට ගැනීම හේතුවෙන් පිළිකා තත්ත්වයන් අවම කර ගැනීමට ද හැකි වූ බව හෙතෙම කීය.

ශ‍්‍රී දළදා යල් අස්වනු පූජාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා ඊයේ [01] මේ බව ප‍්‍රකාශ කළේය.

“ලංකාව පුරා ගොවි සංවිධාන පසුගිය කන්නයේ නෙළාගත් අස්වැන්නේ අග‍්‍ර කොටස දළදා වහන්සේට පූජා කිරීම වාර්ෂිකව සිදු කරනවා. මහ කන්නයේ දී සාර්ථක අස්වැන්නක් අපේක්ෂාවෙන් ගොවීන් දළදා වහන්සේ උදෙසා මෙම පූජාව සිදු කරන්නේ ඉතාම ගෞරවය පෙරදැරිවයි. මමත් ගොවියෙක්. මම කාබනික පොහොර යොදල වගා කරමින් සිටිනවා. අලුත් අයට මෙය අලුත් අත්දැකීමක්.

මෙය දිගින් දිගටම කරගෙන යද්දි සාර්ථකව කරගත හැකි වෙයි. පළමු වන කන්නය අත්දැකීමක් අස්වැන්න අඩු වුණොත් සහතිකයක් දීල තියෙනව අලාභයක් විදිහට වන්දියක් ගෙවනව කියල. ඒකට බයවෙන්න දෙයක් නැහැ. හැම උද්ඝෝෂණයකම පසුබිමේ දේශපාලනයක් තියෙනව.

සියලු දෙනාගෙම වගකීම වස විසෙන් තොර ආහාරයක් ජනතාවට දෙන්න ඕන කියන එක. අප බලන්න ඕන ජනතාවට ගුණාත්මක වස විසෙන් තොර ආහාර ලබා දෙන්න. ඉස්සර කෑ ගැහුවෙ බහුජාතික සමාගම් එපා කියල. දැන් කියන්නේ රසායනික පොහොර ගන්න එයාල තියාගන්න කියලා. මේවා අපි කල්පනා කර බලන්න ඕන.

අපේ බිමේ මඤ්ඤොක්කා හොඳට වැවෙනවා. දේශීය අල වර්ග 60 කට වඩා තිබෙනවා. මුං ඇට, කව්පි වගේ බෝග තිබෙනවා. මේවා ආහාරයට ගැනීමට අපි පුරුදු වෙන්න ඕන. රසායනික පොහොරවලට අපේ සල්ලි යනව. දෙගොල්ලනම මේ සඳහා කැපවීමක් කරන්න අවශ්‍යයි. හාල් හිගයක් දැනුත් තියෙනව. අඩු ආදායම්ලාභීන්ට දැනුත් හාල් කොච්චර තිබුණත් රටින් ගෙන්වන්න හදනවා. අඩු ආදායම් ලාභීන් පිළිබඳව කල්පනා කරනව ඒ අයට අඩුව හාල් දෙන්නෙ කොහොමද කියල අපි සැලසුම් සකස් කරනවා.”

දිවයින

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *