කබ්රාල්ගේ රහස් වට්ටෝරුවලින් වැඩක් නෑ…! පිළිගත හැකි යථාර්ථවාදී විසඳුමක් දෙනු…! – අනුර…

December 25, 2021 at 3:55 pm | by emanisa.lk

මහ බැංකු අධිපති කබ්රාල්ගේ තැන තැන නන්දොඩවන රහස් වට්ටෝරු වෙනුවට රටට පිළිගත හැකි යථාර්ථවාදී ආර්ථික විසඳුමක් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.

අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති විසින් අවස්ථා කිහිපයක මේ ආර්ථික අර්බුදයට විවිධ රහස් විසඳුම් තමා සතුව ඇතැයි පෙන්වා දෙන නමුත් මේ රටට පිළිගත හැකි යථාර්ථවාදී විසඳුමක් මෙතෙක් ඉදිරිපත් කර නැති බවට ජවිපෙ නායකයා චෝදනා කළේය.

2020 අරඹන විට රටේ විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7.3ක් ද, 2021 අරඹන විට ඩොලර් බිලියන 4ක් ද, ලබන වසර අරඹන විට එය ඩොලර් බිලියන 1.5ක් දක්වා ද විශාල ලෙස පහත වැටී ඇති බව අනුර කුමාර දිසානායක පැවැසීය.

ආණ්ඩුව මේ ඇති වී තිබෙන ගැඹුරු ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා විධිමත් ක්‍රමානුකූල වැඩපිළිවෙළක් සකස් කරනවා වෙනුවට ජනාධිපති ඇතුළු විවිධ ඇමැතිවරුන් තැන තැන කටමැත දෙඩවීමේ තත්ත්වයක් අද උදාවී ඇති බව ද විශේෂයෙන්ම මුදල් ඇමැති ලෙස බැසිල් රාජපක්ෂ, මහ බැංකු අධිපති ලෙස අජිත් නිවාඩ් කබ්රාල් පත්වූ පසු රටේ සියලුම ආර්ථික ප්‍රශ්න විසඳන බවට කළ පුරාජේරු කතා මිස කිසිදු ආර්ථික විද්‍යා නොවන කරුණු ඉදිරිපත් කරමින් ආණ්ඩුව මහජනයා රවටමින් සිටින බවද මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.

අද සිදුව තිබෙන්නේ දිනෙන් දින විදෙස් සංචිත ප්‍රමාණය හිඳී යෑමත්, අධික ලෙස මුදල් අච්චු ගැසීමත්, භාණ්ඩ හිඟය හා භාණ්ඩ සේවා මිල ඉහළ යෑමත් පමණක් බවත් වසර අවසන් වන විට ඉතිහාසයේ ප්‍රථම වතාවට කඩාවැටුණු විදෙස් සංචිත ප්‍රමාණයේ හිඟය මේ වන විට පෙන්වන අතර එළැඹෙන වසරේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ඇතුළු මුළු විදෙස් ණය ගෙවීම ඩොලර් බිලියන 6.5 ඉක්මවා තිබෙන බව ද ජවිපෙ නායකයා පැවැසීය.

මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් තිබියදී පවා ආණ්ඩුව තමන්ගේ නාස්තිකාර වියදම් කිසිදු ආකාරයකින් නතර කිරීමක් කර නොමැති බවත් ඒ වගේම ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ද විශාල ලෙස මතුවී තිබීමෙන් එම බර සම්පූර්ණයෙන් ජනතාවගේ හිස මත පැටවී ඇති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස