කොවිඩ් වසංගතය ආරම්භ වීමෙන් පසු ඇති වූ ආර්ථික උද්ධමනය නිසා රට පුරා ජනතාව සිය ස්වර්ණාභරණ පසුගිය මාස කිහිපයේ දී පමණක් දළ වශයෙන් කිලෝ 600 ආසන්න ප්‍රමාණයක් උකස්කර සහ විකුණා ඇතැයි ස්වර්ණාභරණ වෙළඳාම්හි යෙදෙන ව්‍යාපාරිකයෝ සහ බැංකු ප්‍රධානීහු පිරිසක් පැවැසූහ.
කොවිඩ් වසංගතය සමග ඇති වූ ආර්ථික අපහසුතා සැලකිල්ලට ගෙන අලුතින් ස්වර්ණාභරණ මිල දී ගැනීම සියයට අසූවකින් පමණ පහත බැස ඇතැයි කොළඹ හෙට්ටිවීදිය සහ ග්‍රෑන්පාස් ප්‍රදේශවල ස්වර්ණාභරණ වෙළෙඳසල් කිහිපයක හිමිකරුවෝ අප කළ විමසුමකදී කීහ.
ජනතාව මේ දිනවල වැඩි වශයෙන් පැමිණෙන්නේ ස්වර්ණාභරණ උකස් කිරීමට හා විකිණීමට බව පවසන එම ව්‍යාපාරිකයෝ මේ තත්ත්වය නිසා තමන්ගේ ආදායම සැලකිය යුතු ලෙස පහත බැස ඇතැයි ද ප්‍රකාශ කළහ.
ආර්ථික ප්‍රශ්න නිසා අද වැඩිදෙනකු රත්රන් ආලේපිත ස්වර්ණාභරණ පාවිච්චියට පෙළඹී සිටින බවත් මේ හේතුව නිසා තමන්ගේ ආදායම පහත බැස ඇති බවත් ඔවුහු වැඩි දුරටත් පෙන්වා දුන්හ.
බැංකුවල ආරක්ෂිත සේප්පුවල තැන්පත් කර තිබූ ස්වර්ණාභරණ ජනතාව විශාල වශයෙන් යළි රැගෙන යෑමට ද පෙළඹී සිටින බව බැංකු කීපයක නිලධාරීහු අප සමග පැවසූහ.