ශ්‍රී ලංකාවට පොහොර සාම්පල ලබා දී ඇත්තේ කාබනික පොහොර මිල දී ගැනීමට සැලකියයුතු කාලයකට පෙර එනම් 2021 ජුලි 28 වැනිදා බව ශ්‍රී ලංකාවට ආන්දෝලනාත්මක පොහොර තොගයක් නැව්ගත කර ඇති චීනයේ වින්දාවෝ සීවින් (M/S Qingdao Seawin) සමාගම ප්‍රකාශ කරයි.
ඒ අනුව පොහොර තොග ආනයනය වෙනුවෙන් ලංසු තැබීමට, කොන්ත්‍රාත්තු අත්සන් කිරීමට සහ ආනයන බලපත්‍ර ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායන මධ්‍යස්ථානයට සාධාරණ, ප්‍රමාණවත් කාලයක් තිබී ඇති බවත් එම ආයතනය අනිවාර්යෙන් සාම්පල පරීක්ෂණ අවසන් කර තිබිය යුතු බවත් වින්දාවෝ සමාගම වෙනුවෙන් මෙම කරුණු පැහැදිලි කිරීම සිදු කරන කොළඹ චීන තානාපති කාර්යාලය පෙන්වා දෙයි.
මේ අතර මෙම ආන්දෝලනාත්මක පොහොර තොගය ප්‍රවාහනය කරන හිපෝ සිපිරිට් නම් නෞකාව 2020 නොවැම්බර් මාසයේ දී සිය නම වෙනස කර ඇති බවද චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත. විදේශීය මාධ්‍ය ආයතනය ඒ බව හිතාමතාම සඟවා ඇතැයි ද චීන තානාපති කාර්යාලය පෙන්වා දෙයි. හිපෝ සිපිරිට් නෞකාව මේවන විට පෙනී සිටින්නේ සෙයියෝ එක්ස්ප්ලෝර (Seiyo Explorer) යන නමිනි.