ප්‍රාදේශීය සංවර්ධන වැඩපිළිවෙළේ දී ආණ්ඩුකාරවරු සහ දිස්ත්‍රික් ලේකම්වරු පෙරමුණ ගෙන ක්‍රියා කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි.
ග්‍රාමීය ජනතාවට සංවර්ධනයේ ප්රතිලාභ කඩිනමින් අත්කරදීම රජයේ අපේක්ෂාව වන බවත් මේ වැඩපිළිවෙළ කිසිසේත් ප්‍රමාද කළ නොහැකි අතර සියලු සංවර්ධන කටයුතු අධීක්ෂණය සහ වගකීම ආණ්ඩුකාවරුන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට පවරන බවද ජනාධිපතිවරයා පවසා තිබේ.
ආණ්ඩුකාවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරු සමග ඊයේ (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ඇතැම් ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන් කර ඇතත් ඒවා ක්‍රියාවට නංවා නැති බවත්, තවත් ව්‍යාපෘති අතරමග නවතා ඇති බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත.
ඒ සඳහා ගත් ණය වෙනුවෙන් රජය විශාල පොළියක් ගෙවමින් සිටින අතර මේ දෙස බලා සිටින ජනතාව රජයට මෙන්ම නිලධාරීන්ට දෝෂාරෝපණය එල්ල කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.
ජනතා අවශ්‍යතා හා ජනතාව රජයෙන් අපේක්ෂා කරන්නේ කුමක්දැයි අවබෝධ කර ගනිමින් සංවර්ධන යෝජනා ක්‍රම කඩිනම් කළ යුතු බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.
ප්‍රතිපාදන වෙන්කර මෙතෙක් ආරම්භ කර නැති සහ ආරම්භ කොට අතරමඟ නවතා දමා ඇති සියලු ව්‍යාපෘති කඩිනමින් පටන් ගන්නැයි එහි දී ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.
පුද්ගලයෙකුගේ හෝ කිහිප දෙනෙකුගේ වරදක් නිසා සමස්ත ජනතාවම පීඩාවට පත්වන අයුරින් නීති සකස් නොකළ යුතු බව ද අවධාරණය කර ඇති ජනාධිපතිවරයා, වංචනිකයන් සහ කූඨ ව්‍යාජ ව්‍යාපාරිකයන් නීතියේ රැහැනට හසු කර ගැනීමට අවශ්‍ය නීති සැකසීමට නම් නිලධාරීන් ගමට ගොස් සැබෑ ලෙස ජනතා ප්‍රශ්න හඳුනාගත යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
සාධාරණ ලෙස ජීවත්වන අහිංසක ජනතාව ද හොරුන් ලෙස දකින්නේ ගමට නොයන නිලධාරියා බව කී ජනාධිපතිවරයා, ජනතා අවශ්‍යතා ඉටුකිරීමේ දී චක්‍ර ලේඛවලට සීමා නොවී රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව ක්‍රියා කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.
ජනතා ප්‍රශ්නයක් ඉදිරිපත් කළ විට තවත් ප්‍රශ්නයක් හේතුවක් කර ගනිමින් එය යට ගැසීමට නිලධාරීන් උත්සාහ නොකළ යුතු බවත් ජනතා ගැටලු ඉදිරිපත් වූ විට න්‍යාය අනුව පමණක් බලා ඒවා මඟ හැරීම ද නොකළ යුතු බවත් පැවසු ජනාධිපතිවරයා, ජනතා ප්‍රශ්න පරම්පරාවෙන් පරම්පරාවට යාමට ඉඩ දිය යුතු නැතැයි ද සඳහන් කර ඇත.
රජය සියලු සංවර්ධන වැඩ සැලසුම් කර ඇත්තේ පොදු මහජනතාව වෙනුවෙන් බව පැවසූ ජනාධිපතිවරයා, පාරිසරික සංවර්ධනය ඇතුළු සියලු අංශවලද ජනතාව ජීවත්කරවීමේ වගකීමට ප්‍රමුඛත්වය දී ඇති ද සඳහන් කර තිබේ.
ග්‍රාමීය ප්‍රදේශවල ඉඩම් පරිහරණය අවිධිමත් තත්ත්වයක පවතින බවත් ඒ පිළිබඳව ගැමියන් දැනුම්වත් කරමින් තම ගෙවතු කෘෂිකර්මාන්තයට යොදා ගැනීම සඳහා මාර්ගෝපදේශනය දීම වැදගත් වෙන බව ද සඳහන් කර ඇති ජනාධිපතිවරයා, ප්‍රජා වන වගා ව්‍යාපෘති පුළුල් කිරීමෙන් පාරිසරික ගැටලු රැසකට විසඳුම් දීමට පිළිවන් බවත් ඒ සඳහා යොමුවන ලෙසත් නිලධාරීන්ට දැනුම් දුන්නේය.
ඇතැම් පිරිස් සහ මාධ්‍ය හුවා දක්වන අන්දමේ පරිසර විනාශයක් දිස්ත්‍රික් මට්ටමින් සිදුනොවන අතර එය මාධ්‍ය සංදර්ශනයක් පමණක් බව දිස්ත්‍රික් ලේකම්වරු එහිදී සඳහන් කර තිබේ.
ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ මතුවන ගැටලු සාකච්ඡා කිරීමට සෑම මසකම ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරු හමුවීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත.