20 වැනි සංශෝධනය සම්මත කරගැනීම සඳහා තමන් රජයට සහාය ලබාදුන්නේ කොවිඩ් ආසාදනයෙන් මියයන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු භූමදානය කිරීම සඳහා අවසර ලබාදෙන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ලබාදුන් පොරොන්දුවක් අනුව බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසාල් කාසිම් පවසයි.
“ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අපි හතර දෙනාම 20 වැනි සංශෝධනයට සහාය දුන්නේ මුස්ලිම් මළසිරුරු භූමදානය කරන්න දෙනවා කියලා පොරොන්දු වුණ නිසයි. ඇත්ත වශයෙන්ම කිව්වොත් අපේ අගමැතිතුමා මේ සම්බන්ධයෙන් අපිත් එක්ක වැඩ කෙරුවා.
නමුත් ආණ්ඩුවෙ ඉන්න සමහර විරුද්ධ කණ්ඩායම් මේකට විරෝධයෙන් ඉන්න නිසා අද වෙනකල් අපිට මේකට අවසරයක් හම්බුණේ නෑ.”
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසාල් කාසිම් මේ බව පැවසුවේ පෙරේදා (14) පැවති ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් මාධ්‍ය හමුවක් අමතමිනි.
මුස්ලිම් කොංග්‍රසයට මන්ත්‍රීවරුන් 5 දෙනෙකු හිමි අතර රවූෆ් හකීම් හැර සියලු දෙනා 20 වැනි සංශෝධනයට පක්ෂ විය.